බ්‍රිතාන්‍ය රාජකීය ‘මොන්ට්රොස්’ කොළඹට

අප්‍රේ 02, 2019

    බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් ‘මොන්ට්රොස්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (02) කොළඹ වරායට ‍පැමිණ තිබේ.

    එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව නෞකාව පිළිගනු ලැබිණ. නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කොමදෝරු සංජිව ඩයස් සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් සහභාගිවි සිටියහ.

    ‘මොන්ට්රොස්’නෞකාවේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් කෝනර් ඕනේල් සහ බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළු‍ගේතැන්න අතර හමුවක් සිදුවුයේය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

    දිගින් මීටර් 133 ක් වන ‘මොන්ට්රොස්’ නෞකාව ටොන් 3610 ක ධාරිතාවයකින් යුක්තවේ. එහි නැව් මුළුව නිලධාරීන් සහ නාවිකයන් 215 දෙනෙකුගෙන් සමන්විතවේ. දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වන බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

    ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව හෙට (03) දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.

    Latest News