ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාවට විනකරන පිරිසක් (වීඩියෝ)

අප්‍රේ 01, 2019

    ශ්‍රී ලංකාවේ සාමය හා සංහිඳියාව ළඟාකර ගැනීමේ ඕනෑම ක්‍රියාමාර්ගයකට විරුද්ධවන පිරිසක් සිටින බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    බලය ලබාගැනීම සඳහා වෛරය හා භීතිය වැපිරීම ඔවුන්ගේ අරමුණයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    “යෝජනාවලිය පිළිබඳ සත්‍ය“ යන තේමාවෙන් නිවේදනය නිකුත් කර තිබේ. 40 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගිවූ දූත පිරිස සම්බන්ධයෙන් විවිධ අසත්‍ය තොරතුරු සහ අර්ථ නිරූපන සිදු කෙරුණු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    මානව හිමිකම් යෝජනාවලියේ කාලය දීර්ඝ කිරීමේ යෝජනාවක් පිළිබඳ තීරණය පෙබරවාරි මාසයේ දී ගනු ලැබීය. ඒ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ජා කිරීමෙන් අනතුරුව බවයි නිවේදනයේ දැක්වෙන්නේ. එම තීරණය ජිනිවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ.අසීස් මහතා වෙත දැනුම් දී තිබේ. ඒ සංහිඳියා යාන්ත්‍රණය සම්බන්ධීකරණ මහලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා විසින්.

    මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ද පූර්ණ දැනුවත් භාවයෙන් පසුවූ බවද අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය පිලිබඳ අසත්‍යයෙන් ඔබ්බට ගොස් නිවැරදි කරුණු දැකීමට ශ්‍රී ලාංකිකයන්ට හැකි බවට විශ්වාස කරන බව ද අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දෙයි.

    ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාවගෙන් කොන්වීමට ගිය ගමන 2015 වසරේදී අවසන් කළ බව ද අමාත්‍යවරයා සිහිපත් කරයි. වගවීම හා සංහිඳියා න්‍යාය පත්‍රය අතටගත් වත්මන් රජය ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තබා තිබේ. අවසානයේ දී ජයග්‍රහණය කරනු ලබන්නේ බොරුව හා අතිශෝක්තිය නොවේ. රට තුළ යුද්ධය යළි ඇතිවීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබා ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත්කිරීමේ අපගේ උත්සාහය බවයි, මංගල සමරවීර මහතා පෙන්වා දෙන්නේ.

    Last modified on සදුදා, 01 අප්‍රේල් 2019 20:23

    Latest News