බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන ජනතා අයිතියට

මාර් 31, 2019

    ජාත්‍යන්තර ප්‍රමිතියට මෙරට ඉදිවූ ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අද විවෘත කෙරිණ. 

    එය ඉදිකෙරුණේ කොට්ටාව, මාකුඹුර ප්‍රදේශයේ. කොට්ටාව, මාකුඹුර බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථාන ජනතා අයිතියට පත් කළේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින්.

    මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය. පිටකොටුව, මහනුවර, බත්තරමුල්ල නගර කේන්ද්‍ර කර, ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, එහි මූලික අදියරේ ආදර්ශ ප්‍රවාහන මධ්‍යස්ථානය ලෙසයි මෙය ඉදි කෙරුණේ. ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ මුල්‍ය දායකත්වයෙන් ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 2,000ක්.

    දුම්රිය හා බස් රථ පර්යන්ත දෙකකින් හා රථ වාහන ගාල්, බැංකු, ආපන ශාලා, සනීපාරක්‍ෂක පහසුකම්වලින් ද මධ්‍යස්ථානය සමන්විතවේ. සූර්ය බලය මගින් මෙම බහුමාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය සඳහා විදුලිය සපයා ගැනීම විශේෂත්වයක්. ජීපීඑස් මගින් දුම්රිය හෝ බස් රථ එම මොහොතේ තිබෙන ස්ථානය පිළිබඳව මගීන්ට දැනුවත් විය හැකියි. අන්තර්ජාලය මගින් ටිකට්පත් වෙන් කිරීම, දුම්රිය හා බස් රථ එකම ප්‍රවේශ පත්‍රයකින් ගමන් කිරීමට හැකිවීම මෙන්ම ස්වයං ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ පහසුකම් ද සළසා තිබේ.

     එහිදී අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිතුමා.... “අපිට මේ තියෙන සම්පත් නඩත්තුව, කළමනාකරණයේ තිබෙන වැදගත්කම ප්‍රධාන වශයෙන්ම ඒ සුපරීක්‍ෂාකාරීව කටයුතු කරන, බලන රාජ්‍ය නිලධාරීන්, මහත්ම-මහත්මීන් වගේම, මේවා භාවිතා කරන පොදු ජනතාවට විශාල වගකීමක් තියෙනවා. මම කියන්න කැමතියි දැන් මාස දෙකකට කලින් සිදු වෙච්ච දෙයක් රාජ්‍ය ආයතනයක. රජයේ ආයතනයක වැසිකිළි, කැසිකිළි කාලයක් තිස්සේ අලුත් වැඩියා කරලා නැති නිසා මිලියන ගණනක් වියදම් කරලා ඒ ආයතනයේ වැසිකිළි, කැසිකිළි සම්පුර්ණයෙන්ම හැදුවා. ඒ ආයතනයේ වැඩ කරන අය විතරයි එතන ඉන්නේ. සතියයි ගියේ අර අලුතින් හදපු වැසිකිළි, කැසිකිලිවල උපකරණ කිසිවක් නැහැ. ඔක්කොම ගලවගෙන ගිහිල්ලා. අන්න මේක තමයි අපේ සමාජයේ තත්වය. ග්‍රාමීය ප්‍ර දේශවල විශාල පාලම් හදනවා. හදලා වැඩ ඉවර වෙලා මාසයක් දෙකක් යනකොට ඔක්කෝම නැහැ. රෑ ඇවිල්ලා කපාගෙන අරගෙන යනවා. ඉතිං භාණ්ඩාගාරයේ ඉඳලම තියෙනවා. රාජ්‍ය අංශයේ ඉහළ ඉඳන් පහළට තියෙනවා. ඉතිං ඒවා පොදු මහජනතාවටත් බෝවෙනවා. ඉතිං ඒවා ප්‍රධාන වශයෙන්ම රටක සංවර්ධනයේ දී හැම කෙනෙකුගේම තිබිය යුතු කැපවීම, අවංකභාවය, ඒ නඩත්තුව සහ කළමනාකරණයේ දී ජනතාවගේ පැත්තෙනුත් විශාල වගකීමක් ඉෂ්ඨ කෙරෙන්න ඕනේ.“ යැයි ජනාධිපතිතුමා පැවසීය.

    Last modified on ඉරිදා, 31 මාර්තු 2019 20:52

    Latest News