නව ඖෂධ නිෂ්පාදනාගාර 02 කට මුල්ගල් තැබීම ලබන සදුදා

මාර් 30, 2019

    මහාචාර්ය සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තියට අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීමේ අරමුණින් ගම්පහ දී ඉදිකිරීමට යෝජිත ඖෂධ නිෂ්පාදනය කිරීමේ සහ රසායනාගාර සඳහා භාවිතා කරන උපාංග නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලා සඳහා මුල්ගල් තැබීම ලබන සඳුදා දින සිදුකිරීමට කටයුතු යොදා ඇත.

    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 7.00 ට මෙම කටයුතු ආරම්භ කෙරේ.

    දේශීය පෞද්ගලික සමාගම් දෙකක් වන Lanka Diagnostics (pvt) Ltd සහ Greenthru Safety Mediacare (pvt) Ltd ආරම්භ කරන මෙම කර්මාන්ත ශාලා මගින් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 300 කට රැකියා අවස්ථා හිමිවෙයි. Lanka Diagnostics (pvt) Ltd සමාගම පැරසිටමෝල් ඖෂධ වර්ගයක් නිෂ්පාදනය කරන අතර, ඒ සදහා වූ ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 10 ක් වෙයි. Greenthru Safety Mediacare (pvt) Ltd සමාගම විසින් සිරින්ජර ඇතුලු රාසායනාගාර සදහා භාවිතා කරනු ලබන ප්ලාස්ටික් උපාංග නිෂ්පාදනය කරනු ලබයි. ඒ සදහා වැය කරන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 05 ක් වෙයි. ජාත්‍යන්තර තලයට හා නවීන විද්‍යාගාරානුකූලව එම ඖෂධ නිෂ්පාදනය කිරිමට නියමිතය.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරිම සඳහා ආයෝජකයින් 46 දෙනෙකු සමග රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව ගිවිසුම් අත්සන් කර ඇත. ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ ආනයනය කිරිම සඳහා රුපියල් බිලියන 45 ක මුදලක් වැය කරයි. එම මුදල ඉතිරි කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යවරයා ඖෂධ නිෂ්පාදනය මෙරටදීම ආරම්භ කිරිම සඳහා ඖෂධ කර්මාන්ත ශාලා ස්ථාපිත කිරිමට තීරණය කරන ලදි.

    ඒ අනුව මහනුවර, හොරණ, රත්මලාන, කළුතර, බුලත්සිංහල, ජා-ඇල, බණ්ඩාරගම යන ප්‍රදේශවල කර්මාන්ත. ශාලා 08 ක් මේ වන විට ආරම්භ කර ඇත. වසර 2020 වනවිට මෙරටට අවශ්‍ය ඖෂධ සියයට 85 ක් මෙරටදීම නිෂ්පාදනය කිරීම සඳහා මෙම පියවර ගත් බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

    Latest News