ප්‍රථම කෘෂි ශීතාගාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භවේ (වීඩියෝ)

මාර් 30, 2019

    උෂ්ණත්වය හා තෙතමනය පාලනය කළ හැකි මෙරට ප්‍රථම කෘෂි ශීතාගාර සංකීර්ණයේ ඉදිකිරීම් අද(30) ආරම්භ කෙරිණි.

    ටොන් 5000ක් ගබඩා කළ හැකි මෙම ශීතාගාර සංකීර්ණය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබද අක්කර 6ක් භූමියක ඉදිකෙරේ. නව ශීතාගාර සංකීර්ණය ඉදිකිරීමත් සමග ගොවීන්ට තම එළවළු සහ පලතුරු අස්වනු නැවුම්ව දීර්ඝ කාලයක් තබා ගත හැකිය. මීට ප්‍රතිපාදන සපයන්නේ ඉන්දියානු රජයයි.

    මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා, ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඇතුළු ආරාධිත අමුත්තන් විසින් මුල් ගල තැබීම සිදු කෙරිණ.

    මෙහිදී සභාව ඇමතූ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ මෙම ශීතාගාරය ඉදිකරනවාට බොහෝ දෙනෙකු දැඩි විරෝධයක් ප්‍රකාශ කරන බවය. එළවළු පලතුරු විශාල වශයෙන් විනාශ වීම අවම කිරීම සඳහා මෙම ශීතාගාර සංකීර්ණය ආරම්භ කරන බවද ඔහු සඳහන් කළේය. මෙම අවස්ථාවට බොහෝ ගොවි ජනතාව නොපැමිණීම සහ ව්‍යාපාරිකයන් නොපැමිණීම පිළිබඳව කරුණු දක්වමින් කියා සිටියේ අනවබෝධය නිසා මේ තත්ත්වය උදා වී ඇති බවය.

    අස්වැන්න වැඩි කලට මෙරට ගොවියා ගේ අතිරික්ත එළවළු සහ පළතුරු අස්වැන්න ගබඩා කිරීමට මෙමගින් හැකිවේ. මෙම කෘෂි ශිතාගාර සංකීර්ණය අවට කිසිදු වෙළෙඳ සංකීර්ණයක් හෝ තවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳසැලක් ඉදි නොකරන බවත් මෙම ස්ථානයේ ගොවීන්ගේ එළවළු සහ පළතුරු උෂ්ණත්ව සහ තෙතමන පාලනය කිරීමේ කාර්යභාරය පමණක් ඉටු කරන බවත් ඔහු අවධාරණය කළේය.

    තමන්ගේ ඉල්ලීම පරිදි ඉන්දියානු රජය මුදල් ලබා දුන් බවත් ඉතිරි මුදල් තම අමාත්‍යාංශයේ මගින් වැය කිරීමට සූදානමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අවස්ථාවට මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා සහ පැමිණ සිටි ගොවි සංගම් නියෝජිතයෝ ද අදහස් දැක්වූහ. ගොවීන් වෙනුවෙන් සිදුකළ මෙම ශීතාගාර සංකීර්ණය ඉතා වටිනා ව්‍යාපෘතියක් බව මෙහිදී අදහස් දැක්වූ ගොවි සංවිධාන සභාපතිවරු කියා සිටියහ.

    Last modified on සෙනසුරාදා, 30 මාර්තු 2019 20:05

    Latest News