මොරගහකන්දෙ ජලයෙන් කන්න 03ක් අස්වද්දන්න පුළුවන්

මාර් 29, 2019

    මොරගහකන්ද ජලය ප්‍රයෝජනයට ගනිමින් පරාක්‍රම සමුද්‍රය යටතේ මෙතෙක් වගා කළ කන්න දෙක වෙනුවට කන්න තුනක් වගා කිරීමට ජලය සැපයිය හැකි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.

    ඒ භාග්‍ය උදාවන්නේ පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල මොරගහකන්ද ජලාශයේ ජල සම්පත තුළින් යැයි ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන “ගොවි ජනතාව සූදානම් නම් ඔවුන් ඊට එකඟ නම්, ගොවි සංවිධාන එයට එකඟ නම්, කන්න දෙකක් වගා කරන එක කන්න තුනක් කරන්න නම්. කම්මැලිකම් නැතිව මහන්සි වෙන්නට කැමති නම් ඉංජිනේරුවරුන් හරහා දන්වන්න අවුරුද්දේ කන්න තුනක් වතුර දෙන්න සූදානම්“ යැයිද ඔහු කියා සිටියේය.

    පොළොන්නරුව නවනගරයේ හතරේ ඇල සීවලී ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ ඉදිකර සිසු අයිතියට පවරමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වාදුනී.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‘‘මම හිතනවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ විට අවුරුදු පතා මුහුණ දුන්න පානීය ජල ප්‍රශ්නය සහ කෘෂිකර්මාන්තයේ ජල ප්‍රශ්නය අවසන් කියලා. මොරගහකන්ද ගැන අවුරුදු 70 ක් විතර මේ රටේ කතා කළා මොරගහකන්ද - කළුගඟ ජලාශයේ ජලයෙන් අද මේ දිස්ත්‍රික්කයේ ජලාශ සියල්ලම පිරිලා තිබෙනවා. පරාක්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල මහා ජලාශයක් හදන්න පුළුවන්කම ලැබුණේ දේශීය ඉංජිනේරුවන් නිසයි. මාතෘ භූමියේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර ඒ සශ්‍රීකත්වය තුළ ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම වගේම රටක් විදිහට ආර්ථික වශයෙන් හිස ඔසවන්නටයි මේ මහා ජලාශ හැදුවේ.‘‘යැයි ජනාධිපතිවරයා පැවැසීය.

    Latest News