දේවගැතිගේ ඇප පෙත්සම කල්යයි

දෙසැ 20, 2023
    බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප පෙත්සම ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ශමින්ද වික්‍රම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළව විරෝධතා ගොනුකර විභාගය සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා.
    එම අවස්ථාවේදී පෙත්සම්කාර ජෙරොම් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරු කිතුණු භක්තිකයකු බැවින් ඉදිරියේ එළඹෙන නත්තල් සමය සැලකිල්ලට ගෙන පෙත්සම අද දින විභාග කරන ලෙස ඉල්ලා සිටියා.
    එම ඉල්ලීමට විරෝධය පළ කළ ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම පෙත්සම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියා.
    සිරිපාලට සහ සෝමපාලට අදාළ වන නීතිය දේවගැති ජෙරොම් ප්‍රනාන්දුටද අදාල විය යුතු බව පෙන්වා දුන් ජේෂ්ඨ රජයේ නීතිඥවරයා මෙම සැකකරු මාස ගණනාවක් අධිකරණය මඟහැර සිටි පුද්ගලයකු බවත් නීතිය ඉදිරියේ කිසිදු පුද්ගලයෙකුට සුවිශේෂී වරප්‍රසාද හිමි නොවිය යුතු බවත් සඳහන් කළා.
    මෙම සැකකරු මාස ගණනාවක් අධිකරණය මගහැර සිටි පුද්ගලයකු බවත් මෙම පෙත්සම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය යටතේ විභාගයට ගන්නා ලෙසත් ඒ සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙසත් ජේෂ්ඨ රජය නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළා.
    මෙම අවස්ථාවේදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ද පෙන්වා දුන්නේ වග උත්තරකරුවන්ට විරෝධතා ගොනු කිරීම සඳහා අවස්ථාව ලබා දී අදාළ පෙත්සම සාමාන්‍ය පටිපාටියට යටතේ විභාගයට ගැනීම සුදුසු බවයි.
    ඒ අනුව අදාල පෙත්සම ජනවාරි මස 4 වන දා විභාගයට ගන්නා බවත් විනිසුරුවරයා නියෝග කළා.
    බුදු දහම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාසාත්මකව ප්‍රකාශයක් සිදු කිරීම තුළින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ වරදක් සිදු කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
    කොටුව මහේස්ත්‍රාත් වරයාගේ නියෝගය දෝෂ සහගත බවත් තමන්ව ඇප මත මුදාහරිණ ලෙසත් ඉල්ලමින් දේව ගැති ජෙරුම් ප්‍රනාන්දු සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

    Latest News