හරක්කටාට සහය දුන් කොමාණ්ඩෝ සෙබලුන් දෙදෙනෙකු කොටු වෙයි

ඔක් 25, 2023

    සංවිධානාන්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන නදුන් චින්තක හෙවත් හරක්කටා සහ සලිඳු මල්ෂික හෙවත් කුඩු සලිඳු නමැත්තන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමේ ප්‍රහාරාත්මක සැලසුම පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කොට, අධිකරණයට කරුණු දක්වන්නැයි කොළඹ කොටුව මහේත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළා.

    ඒ, එවැනි ප්‍රහාරයක සැලැස්මක් පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවයි.

    රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින සැකකරුවන් දෙදෙනා මුදා ගැනීම සඳහා ත්‍රස්තවාදීන් එල්ල කරන ආකාරයේ ප්‍රහාරයක් සිදු කිරීමේ සැලසුමක් ගැන තොරතුරු හෙළි වී තිබෙනවා. 

    ඒ, කොමාණ්ඩෝ රෙජිමේන්තුවේ සෙබලුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ. 

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැකකරුවන් දෙදෙනා රැදී සිටි ස්ථානයට කඩාවැදී ආරක්ෂක පොලිස් නිලධාරීන්ට රසායනික ප්‍රහාරයක් එල්ල කර හරක්කටා සහ කුඩුසළිඳු යන අය මුදා ගෙන යාමට සැලසුම් සකස් කර තිබූ බවයි හෙළි වී ඇත්තේ. 

    ඊට පෙර පුහුණුව ලද සන්නද්ධ කණ්ඩායමක් යොදා ගැනීමට නියමිතව තිබූ බවද ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී තිබෙනවා.

    මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීමෙන් පසු ඒ ගැන විමර්ශන සිදු කොට වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කර තිබෙනවා.

    Latest News