ICTA ජාත්‍යන්තරයේ ඇගයීමට

ඔක් 03, 2023

    මෙරට ව්‍යවසායකත්වය නඟා සිටුවීම වෙනුවෙන් ICTA ජාත්‍යන්තරයේ ඇගයීමට.ගෝලීය ව්‍යවසායකත්ව ජාලය (GEN) මඟින් සංවිධාන කළ GEN Compass Awards 2023 හි අවසන් වටය සඳහා තේරී පත් වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමත් වෙයි.

    2022 වර්ෂයේ පැවැති ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කරමින් අත් කර ගත් සාර්ථකත්වය සහ ඵලදායීත්වය මෙලෙස ඇගයීමට ලක් වීමට හේතු වී තිබේ. මෙරට ව්‍යවසායකත්වය සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම සහ තාක්ෂණය මත පදනම් වූ ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ICTA හි කැපවීම මෙම ඇගයීම හරහා අවධාරණය කරයි. ලොව පුරා ව්‍යවසායකයින්ට සහාය දැක්වීම, ව්‍යවසායකත්වය නඟා සිටුවීම මෙන් ම ඒ වෙනුවෙන් කැපවී සිටින පුද්ගලයින් සහ සංවිධාන ඇගයීම ගෝලීය ව්‍යවසායකත්ව ජාලය මඟින් සිදු කෙරේ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් මෙම ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කරනු ලැබුවේ ප්‍රථම වරට වන අතර එවැනි තත්ත්වයක් තුළ මෙසේ ජාත්‍යන්තර ඇගයීමකට ලක් වීම විශේෂත්වයකි. ව්‍යවසායකයින් සහ නවෝත්පාදන සවිබල ගැන්වීම සහ ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති පෝෂණය කිරීම අරමුණු කර ගනිමින් සෑම වසරකම නොවැම්බර් මාසයේ දී මෙම සතිය ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක පැවැත්වේ. ගෝලීය ව්‍යවසායකත්ව සතිය  තරුණ පරම්පරාව අතර ව්‍යාපාර සඳහා පෙළඹවීමක් ඇති කරන වේදිකාවක් ලෙස ද අන්තර්ජාතිකව හඳුනාගෙන තිබේ.

    2022 වසරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කිරීමේ සත්කාරකත්වය ලබා තිබුණේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයි.

    ඒ අනුව ඉකුත් වසරේ නොවැම්බර් මස 14 සිට 20 දක්වා දිවයිනේ ස්ථාන ගණනාවක දී අදාළ ක්ෂේත්‍රයේ ආයතන, සංවිධාන, සමාගම් සහ පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් ව්‍යවසායකත්ව, නවෝත්පාදන, ආරම්භක ව්‍යාපාර ආර්ථික පද්ධති, අධ්‍යාපන, ඩිජිටල් අන්තර්කරණ සහ ප්‍රතිපත්ති යන අංශ යටතේ සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු, සාකච්ඡා, දැනුවත් කිරීම් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් පවත්වන ලදී. දේශීය ව්‍යවසායකයින්, ආයෝජකයින්,පර්යේෂකයන් සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සහයෝගීතාවයෙන් හා
    සම්බන්ධතා ශක්තිමත් කරමින් රට පුරා විවිධ කර්මාන්තයන්හි යෙදී  සිටින නව්‍ය ව්‍යවසායකයින් ඇගයීම හා  සවිබල ගැන්වීම ද මෙහි දී සිදු කර ඇත.


    මෙම ව්‍යවසායකත්ව සතිය තුළ දී නව ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුම් කරන මෙන් ම විවිධ  බාධාවලට මුහුණ දී සිටින ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය පුහුණුව, උපදෙස්  හා සබඳතා ඇති කර ගැනීමේ අවස්ථාවන් ද උදා කර දෙන ලදී. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා සමාගම් ආරම්භය, ලියාපදිංචිය, බදු ආදිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළු ද පාසල් දරු දැරියන්, විශ්වවිද්‍යාල විද්‍යර්ථීන්, තරුණ තරුණියන් සඳහා ව්‍යවසායකත්වය පිළිබඳ දේශන මාලා ද සාමාඡයීය හා තාක්ෂණික ව්‍යවසායකත්වය පිළිබඳ දැනුවත් කිරීමේ මාර්ගගත සැසි ද මේ යටතේ පවත්වා තිබේ.

    සමස්තයක් ලෙස 2022 ගෝලීය ව්‍යවසායකත්ව සතිය තුළ දිවයිනේ ප්‍රදේශ 12ක් ආවරණය කරමින් ක්‍රියාකාරකම් 111ක් පැවැත්වීමටත්, 3000කට අධික පිරිසකට ප්‍රතිලාභ ලබා දීමටත් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට හැකි විය. මෙම ක්‍රියාකාරකම්වල දී රටවල් 11ක් සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව ලැබුණු අතර මෙරට තුළ ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධානයේ දී අත්වැල් බැඳ ගත් සංගම්, සංවිධාන ඇතුළු හවුල්කරුවන් සංඛ්‍යාව 60කට අධිකයි.

    වසර 3ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ මෙම ගෝලීය ව්‍යවසායකත්ව සතිය සංවිධාන කිරීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට පැවරී ඇති අතර එළඹෙන නොවැම්බරයේ දී 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය පැවැත්වීමට නියමිතයි. මෙරට ව්‍යවසායකයින්, නවෝත්පාදන සවිබල ගැන්වීමේ ක්‍රියාවලියේ කොටස්කරුවකු වෙමින් 2023 ගෝලීය ව්‍යවසායකත්ව සතිය හා අත්වැල් බැඳ ගැනීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සියලු පාර්ශව වෙත ඇරයුම් කර සිටියි.

    Latest News