සචිත්‍රට විදේශ ගමන් තහනමක්

සැප් 26, 2023

    2020 වසරේ පැවති ප්‍රීමියර් ලීග් පළමු අදියරට සහභාගි වූ ක්‍රීඩකයින් දෙදෙනකු මුදලට තරඟය පාවා දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (25) නියෝග කළේය.

    මීට අමතරව සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත දන්වා යවන ලෙස නියෝග කළේය.

    විමර්ශනයේ සාක්කි කරුවන්ට බලපෑම් කළ බවට කිසිදු පැමිණිල්ලක් තමන් වෙත ඉදිරිපත් වී නොමැති බැවින් තවදුරටත් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම සුදුසු නොවන බවට තීරණය කර සැකකරුට ඇප ලබාදීමට මහේස්ත්‍රාත්වරයා මෙහිදී තිරණය කළේය.

    සිද්ධිය ඊයේ (25)නැවත කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සඳහන් කරනු ලැබුවේ සැකකරුගෙන් නැවත ප්‍රකාශයක් ඉකුත් 19 වන දින බන්ධනාගාරයේ දී ලබා ගත් බව ය.

    අදාළ කරුණ සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු සාක්ෂිකරුවන් කෙරෙහි අන්ආකාරයකට මැදිහත් වීම සම්බන්ධයෙන් කරුණු අධිකරණය වෙත ඉදිරිපත් වී නොමැති බවත්  ප්‍රතික්ෂේප කිරීමට හේතු නොමැති බව සඳහන් කළේය.

    තවද වෙනත් කවුරුන් ලවා හෝ සාක්ෂි වලට ක්‍රියාකාරීව මැදිහත්වී බලපෑම් කිරීම සම්බන්ධ කරුණු අනාවරණය නොවන බැවින් සැකකරු ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

    මීට අමතරව සැකකරුට විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.

    Latest News