'ශනිදා ඔඩිසි' ඇරඹේ - සීතාවක පුරවරයට රවුමක් යමුද?

අගෝ 06, 2023

    "ශනිදා සීතාවක ‍ඔඩිසි" සුඛෝපභෝගී සංචාරක දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (05) සිය මංගල ගමන ආරම්භ කළා.

    සුපුරුදු ඉරිදා දිනවලට අමතරව සෙනසුරාදා දිනයන්හි ද දුම්රිය ගමන් වාර ක්‍රියාත්මකයි.

    ජනවාරි මාසයේ ආරම්භ කරන ලද සීතාවක ඔඩිසි දුම්රිය සේවාව ඉරිදා දිනවල දී පමණක් කොළඹ සහ අවිස්සාවේල්ල අතර ධාවනය කෙරුණා.

    එහි සාර්ථකත්වය සහ පවතින ඉල්ලුම මත ඊයේ සිට ශනිදා සීතාවක ඔඩිසි නමින් සෙනසුරාදා දිනවල දුම්රිය ධාවනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය තීරණය කළා.

    ඒ අනූව, රාත්‍රියක් ගත කරන පූර්ණ සංචාරයක් බවට පරිවර්ථනය කිරීම ද (over night stay) මෙලෙස සති අන්තයේ සෙනසුරාදා, ඉරිදා යන දෙදිනම මෙම දුම්රිය ක්‍රියාත්මක කිරීමේ අමුණ වනවා.

    එස් 12 වර්ගයේ සුභෝපභෝගී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙ.ව 8.25ට ගමන් ආරම්භ කරන අතර එය ප.ව 6.50ට අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයෙන් යළි කොළඹ බලා පැමිණෙනවා.

    ඉතා වි‍නෝදකාමී දුම්රිය ගමනක් සමග කලටුවාව සහ ලබුගම යන ජලාශ ද රන්මුදු, කුමාරි, ගොරක යන දියඇලිද තුම්මෝදර වැල් පාලම, ගල් බංගලාව, සීතාවක උද්භිද උද්‍යානය වැනි සංචාරක ආකාර්ශනීය ස්ථාන නැරඹීමේ හැකියාව හිමිවනවා.

    අවම පිරිවැයක් ඔස්සේ සංචාරකයින්ට මෙම ගමනාන්තය කරා යොමුවීමට හැකිවීම ද විශේෂත්වයක්.

    ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම අනුව ආරම්භ කෙරුණු මෙම දුම්රිය සේවාව මගින් සීතාවක ප්‍රදේශය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රචලිත කිරීම උදෙසා දෙස් විදෙස් අවධානයට ලක්වනු ඇති.

    Latest News