බදුල්ලට එන රට දොඩම්

ජූනි 08, 2023

    මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක ආශ්‍රිතව මැන්ඩරින් දොඩම් වගා කලාපයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබෙනවා.විදේශ රටවල සිට ආනයනය කෙරෙන මැන්ඩරින් නැමැති දොඩම් විශේෂය සඳහා මහජනතාවගේ විශාල ඉල්ලුමක් පවතිනවා.

    මෙම දොඩම් ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විශාල විදේශ විනිමය ප්‍රමාණයක් විදේශ රටවලට ඇදී යයි.

    වාර්තා වී ඇති පරිදි 2022 වසරේ දොඩම් ආනයනය සඳහා රජය වැය කර ඇති මුදල රුපියල් මිලියන 496ක් වන අතර දොඩම් මෙට්‍රික් ටොන් 2407ක් ආනයනය කර ඇතැයි, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා.

    නමුත් 2022 වසරට පෙර වසරවල දී ඊට වඩා විශාල දොඩම් ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබේ.

    2019 දී මෙරටට ආනයනය කරන ලද දොඩම් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7773ක් වන අතර ඒ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 949කි.මේ අයුරින් 2020 හා 2021 වර්ෂවල දී පිළිවෙළින් රුපියල් මිලියන 670ක් හා මිලියන 735න් බැගින් වැය කර තිබෙනවා.

    මෙසේ ආනයනය කරන ලද දොඩම් අතිබහුතරය මැන්ඩරින් වර්ගයට අයත් දොඩම් වනවා.මැන්ඩරින් දොඩම් විශේෂය අප රටේ වගා කිරීම සඳහා සිදු කරන ලද පර්යේෂණ සාර්ථක වී තිබෙනවා.

    ඒ අනුව මධ්‍යම කඳුකරයේ බදුල්ල, නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල පහළින් පිහිටි ප්‍රදේශවල මැන්ඩරින් දොඩම් වගා කිරීමට උචිත දේශගුණයක් සහිත ප්‍රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරින් පවසනවා.

    මැන්ඩරින් දොඩම් වගාව සම්බන්ධව ව්‍යාපෘති වාර්තාවක් මේ වනවිට ඉදිරිපත් කර තිබෙන අතර මෙම වසර තුළම වගා කලාපය ස්ථාපිත කිරීමට නියමිතයි.

    මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් පැළ තවාන්වල මැන්ඩරින් දොඩම් පැළ අවශ්‍ය තරම් රෝපණය කර තිබෙන නිසා ඒවා වගාව සඳහා යොදා ගැනීමට තීරණය කර තිබෙනවා.

    Latest News