චීනය සැම විටම ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිනවා

මැයි 31, 2023

    ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් චීනය සෑම විටම පෙනී සිටින බව චීන විදේශ කටයුතු උප අමාත්‍ය සන් වෙයි ඩොන් මහතා පවසනවා.

    ශ්‍රී ලංකාව චීනයේ දිගුකාලීන මිතුරකු බව පවසන චීන විදේශ කටයුතු උප ඇමැතිවරයා තම රට සැම විටම ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය හා දේශපාලන ස්වාධීනත්වය මෙන්ම සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින බවද අවධාරණය කරයි.

    උප ඇමැතිවරයා මේ බව සඳහන් කළේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා අරලියගහ මන්දිරයේදී ඊයේ (30) හමු වූ අවස්ථාවේදී.

    ශ්‍රී ලංකාවේ කෘෂිකර්මය, වෙළෙඳ හා වාණිජ කටයුතු, වරාය යටිතල පහසුකම් සංවර්ධනය වැනි අංශ කිහිපයක ආයෝජන වැඩි කිරීමට චීනය ක්‍රියා කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහනට චීනයේ අඛණ්ඩ සහාය ලැබෙන අතර, බොහෝ පාර්ශ්වවල බලපෑම් නොතකා ශ්‍රී ලංකාව එක් චීනයක් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම පිළිබඳ උප ඇමැතිවරයා සිය ප්‍රසාදය පළ කළේය.

    ආගමික සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කරගැනීමට ශ්‍රී ලංකා බෞද්ධ සංගම් සමඟ ශක්තිමත් සහයෝගිතාවක් ඇති කරගැනීමට චීනය පියවර ගෙන ඇතැයිද හෙතෙම කීය.

    විවිධ ස්වාභාවික විපත් අවස්ථාවන්හිදී චීනය දුන් සහාය අගමැතිවරයා අගය කළේය. වත්මන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයේදී දෙන සහායද අගය කෙරිණි.

    චීනය කොවිඩ් වසංගත සමයේදී ශ්‍රී ලංකාවට එන්නත් ඇතුළු මානුෂීය ආධාර සහ වෛද්‍ය ආධාර දීම සම්බන්ධයෙන්ද අගමැතිවරයා මෙහිදී සිහිපත් කළේය.

    Latest News