ඩිජිටල්කරණය තුලින් දියුණුවීමට ග්‍රාම රාජ්‍යයත් - අගමැති

මාර් 23, 2019

    වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මඩකලපුව, වේබර් ක්‍රීඩාංගනයේ අද (23) පැවැති ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා සිටියේය.

    ජනතා අයිතීන් ආරක්‍ෂා කර දී රට ගොඩනඟා එක්සත්ව ඉදිරියට යා හැක්කේ එක්සත් ජාතික පෙරමුණට බවත් එම අපේක්‍ෂාවන් ඉටුකර ගැනීම සඳහා සියලු ජන කොටස් සමගි සම්පන්නව එක්සත් ජාතික පෙරමුණ වටා රොද බැඳගත යුතු බවත් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් පවසා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....

    "අපි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ජනතාවට ලබා දුන්නා. ඒ වගේම ඉඩම් අයිතියත් ලබලා දෙනවා. එමෙන්ම නව නීති මගින් මේ රටේ ජීවත් වෙන සියලූ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය හිමිකර දීම අපේ තවත් ප්‍රධාන අරමුණක් බව කිව යුතුයි. අධ්‍යාපනය, දැනුමේ අයිතිය ලබා දෙන්න අපි දැනට වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කර තිබෙනවා. ඒ සඳහා පුහුණු ගුරුවරු ලබාදීමත්, ඒවාගේම පාසලවල උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ටැබ් පරිගණක ලබාදීමත් ආරම්භ කර තිබෙනවා. තවද විශ්ව විද්‍යාලවලට සුදුසුකම් නොලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පුද්ගලික ආයතන හරහා ඉගෙනුම් කර ගෙන යෑම සඳහා අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ද අපි කටයුතු කරනවා. අද මුළු ලෝකයම සීඝ්‍රයෙන් ඩිජිටල් කරණය වෙමින් තිබෙන බව පැවසිය යුතුයි. අද සෑම ගේකම ජංගම දුරකථනයක් තිබෙන බවත්, ආර්ථිකයේ ද ඩිජිටල් කරණයක් සිදු වෙමින් තිබෙන බවත්, ඒ වගේම ඉඩම් ඔප්පු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ සියල්ල ඩිජිටල් කරණය කරමින් යන බවත් පැවසීය යුතුයි. එමෙන්ම ග්‍රාම රාජ්‍ය වැඩසටහන හරහා ඩිජිටල් කරණය ගම්මටමෙන් ක්‍රියාත්ම කිරීමට අපි සැලසුම් කර තිබෙනවා." යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ඉඩම් ඔප්පු දස ලක්‍ෂයක් බෙදාදීමේ රජයේ වැඩසටහන යටතේ මෙම උත්සවය සංවිධානය කෙරිණ. මඩකලපුව දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම්වල පදිංචි 7200කට පමණ අද ඉඩම් ඔප්පු පිරිනැමිණ. මේ වනවිට දිවයින පුරා ඉඩම් ඔප්පු දෙලක්‍ෂ පනස් දහසක් බෙදා දී තිබේ. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මකයි.

    එම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය එස්. අලී සාහීර් මවුලානා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. සිරිනේෂන්, එස්. යෝගේෂ්වරන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන් ප්‍රමුඛ දේශපාලනඥයින් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 19:44

    Latest News