වතමන් ආර්ථික අර්බුදය‍ ගැන විමර්ශනයක් ඉල්ලා, ගොනු කළ පෙත්සම ජූලි 5 විභාගයට

මැයි 08, 2023

    වතමන් ආර්ථික අර්බුදය‍ට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව, විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා, ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 5 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

    හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව, අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබෙනවා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම අද කැදවනු ලැබුවා. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දන ජයසුන්දර මහතා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ කාලසීමාවේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන්, මහ බැංකු අධිපතිවරුන් වූ අජිත් නිවාඩ් කබ්රාල් හා මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන් යන මහත්වරු‍න් වෙත ඉදිරිපත් කළ ලේඛන මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.

    එහෙත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, අධිකරණය නියෝග කර ඇති ලේඛන දැනටමත් ඉදිරිපත් කර ඇති බව, කියා සිටියා. තවදුරටත් අවශ්‍ය ලේඛන කවරේ දැයි දැනුම් දෙන්නේ නම්, ඒවා ඉදිරිපත් කළ හැකි බවත්, ඔහු සඳහන් කළා. මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ හා අජිඩ් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ, එවැනි ලේඛන කැඳවීමක් සිදු කරන්නේ නම්, ඒවා පරිශීලනයට තම ‍සේවාදායකයින්ට ද අවස්ථාව ලබා දිය යුතු බවයි. අනතුරුව, නඩු විභාගය ජූලි 5 වැනිදා ආරම්භ කරන ලෙස, අධිකරණය නියෝග කර සිටියා. ශ්‍රී ලංකා වානිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූර ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News