EPF ගැන ජනපති දුන් සහතිකය

මැයි 01, 2023

    වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථ සාධක අරමුදලට (EPF) කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ඒ, ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

    එම පණිවුඩය පහතින්...

    රටේ සමස්ත ආර්ථික ක්‍රියාවලියට වඩා ප්‍රබල බලපෑමක් එල්ල කළ හැකි සමාජ බලවේගය වන්නේ වැඩකරන ජනතාවයි. ඉතිහාසය පුරා අප මුහුණ දුන් සහ ජයගත් අභියෝග බොහෝ වන අතර ඒ සෑම අවස්ථාවකම රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට වැඩකරන ජනතාව ලබා දුන්නේ සුවිශේෂී දායකත්වයකි.

    පසුගිය වසරේ මැයි දිනය සමරන අවස්ථාව වන විට රට දරුණු ආර්ථික කඩාවැටීමකට ලක්ව තිබු අතර ඒ හමුවේ සියලුදෙනාට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදු විය. එම අභියෝගාත්මක කාල වකවානුවේදී, ආර්ථිකය ස්ථාවර කරන අසීරු ආරම්භක පියවරයන් දෙස ඉවසීමෙන් සහ ධෛර්යයෙන් බලා සිටි සියලු වැඩකරන ජනතාවට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.

     

    අප සෑම විටම කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට ක්‍රියා කළ අතර, ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද දිනා දෙමින් ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන යහපත් අනාගතයක් නිර්මාණය කිරීම අද දවසේ ද අපේක්ෂාව වන්නේය.

    සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධව මේ වන විට අනියත බියක් ඇති කිරීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කළ ද වැඩකරන ජනතාව වෙනුවෙන් ස්ථාපිත කර තිබෙන සේවක අර්ථසාධක අරමුදලට කිසිදු හානියක් සිදුවීමට අප ඉඩ නොතබන බව ද අවධාරණය කරනු කැමැත්තෙමි. 

    2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මඟ සමඟ එකමුතුව අත්වැල් බැඳගන්නා ලෙස මම සියලු වැඩකරන ජනතාවට ආරාධනා කරන අතර ස්වකීය අයිතීන් සුරක්ෂිත වූ අර්ථවත් ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරමි.

    Latest News