තවමත් නොවිසඳුණු උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ ගැටළුව

මාර් 31, 2023

    විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සහ ලංකා ගුරු සංගමය උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමට සම්බන්ධ නොවීම රටේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපනය අඩාලවීමට හේතු වී තිබෙනවා.

    පිළිතුරු පත්‍ර ඇගයීම පෙබරවාරි 23 වැනිදා ආරම්භ කිරීමටයි, සැලසුම් කර තිබුණේ. එහෙත්, අද වන විට එම කටයුතු මාසයකුත් දින 10ක් ප්‍රමාද වී තිබෙනවා.  මේ සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 1400ක් සම්බන්ධ වනවා. ‍ලකුණු ලබාදෙන ක්‍රමවේදය සැකසීම සහ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා සහභාගී වන ගුරුවරුන් පුහුණු කිරීම ඔවුන්ගේ කාර්ය භාර්යයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ බලපෑම මත ආචාර්යවරුන් එම කටයුතුවලින් ඉවත් වී සිටිනවා. ඒ සඳහා ඉදිරිපත් වී ඇත්තේ, විශ්‍රාමික ආචාර්යවරුන් කිහිපදෙනෙකු පමණයි.

    ඉකුත් ජනවාරි මාසයේ පැවති උසස් පෙළ විභාගයට සිසුන් 339,000ක් පෙනී සිටියා. උත්තර පත්‍ර ඇගයීම සඳහා සති 6ක පමණ කාලයක් ගත වන අතර, ඊට ගුරුවරුන් 19,000ක් සම්බන්ධ වනවා.  මෙතෙක් ඒ සඳහා අයදුම්පත් ලැබී ඇත්තේ, 13,000ක් පමණයි. මේ නිසා සංයුක්ත ගණිතය, විද්‍යාව, රසායනික, භෞතික සහ ජීව විද්‍යා ඇතුළු විෂයන්වලට අදාල පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට නොහැකි තත්වයකුයි, උදා වී ඇත්තේ.

    එක් පිළිතුරු පත්‍රයක් ඇගයීමට රුපියල් 150ත් 175ත් අතර මුදලක් ගෙවනු ලබනවා. මීට අමතරව, දිනකට ගුරුවරුන්ට සහ පරීක්ෂකවරුන්ට ලබාදුන් රුපියල් 1450ක මුදල රුපියල් 2000 දක්වා ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබෙනවා.මේ ගැටලුව මතු වී ඇත්තේ, සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයට පමණයි. දෙමළ භාෂා ගුරුවරුන්ගේ කිසිඳු ගැටලුවක් මතු වී නොමැති අතර, ඔවුන් එකඟතාවයෙන් යුතුව එම කටයුතු ආරම්භ කර තිබීම කැපී පෙනෙන කරුණක්.

    Latest News