ප්‍රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේ 01, 2023

    ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය මහතා, අද අභාවප්‍රාප්ත වුණා.

    82 වැනි වියේ පසු වූ ඒ මහතාගේ අභාවය සිදු වූයේ, ජාඇල පිහිටි සිය නිවසේදී.  1940 වසරේ සැප්තැම්බර් 20 වැනි දින මහනුවරදී උපත ලද අමරසිරි කලංසූරිය මහතා, අධ්‍යාපනය හැදෑරුවේ, මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන්. සිනමාව හා ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ ආදරණීය චරිතයක් වූ ඔහුට, කලා ලොවේ ජනප්‍රිය ආමන්ත්‍රණය වූයේ, "කලං" යන්නයි. ඔහුගේ සිනමා සම්ප්‍රාප්තිය සිදු වන්නේ, විජය කුමාරතුංගයන් සමග, "හන්තානේ කථාව" චිත්‍රපටයෙන්. පසුව රඟ පෑ "අහස්ගවුව" චිත්‍රපටයට ලබා දුන් රංගන දායකත්වය හේතුවෙන්, ඔහු හොඳම නළුවාට හිමි සම්මානයත් දිනා ගත්තා.  

    ඒ, 1974 වසරේදී. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්‍යක්ෂණය කළ "අක්කර 5", රංජිත් ලාල්ගේ "නිම්වළල්ල" සමග "තරංගා, බඹරු ඇවිත්, අපේක්ෂා, සක්විති සුවය, යස ඉසුරු, අහස් මාලිගා හා සාගරයක් මැද" අමරසිරි කලංසූරිය රංගනයෙන් දායක වූ චිත්‍රපට අතර වනවා. "පරිත්‍යාගය" සහ "අපේක්ෂා" යන චිත්‍රපටවල ඔහුගේ රංගනය ඕ සී අයි සී හා සරසවි සම්මානයට පාත්‍ර වුණා.

    පූජා චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් කලංසූරිය මහතා, හොඳම සහය නළුවාට හිමි ජනාධිපති සම්මානය දිනා ගත්තේ, 1986 වසරේදී. ශ්‍රී ලංකාවේ පළමු ප්‍රාසාංගික ටෙලි නාට්ය වූ ඩී බී නිහාල්සිංහයන්ගේ දිමුතු මුතු සඳහා ද ඔහු රංගනයෙන් දායක වුණා. ව්‍යාපාරික ක්‍ෂේත්‍රයට ද පියවර තබා සිටි අමරසිරි කලංසූරිය මහතා, ති‍දරු පියෙක්.

    Last modified on සෙනසුරාදා, 01 අප්‍රේල් 2023 12:19

    Latest News