ධීවරයන්ට භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමට පියවර

නොවැ 22, 2022

    ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදුකිරීමට රජය පියවර ගෙන තිබෙනවා. 

    ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් කීර්ති තෙන්නකෝන් මහතා අද දිනයේ මේ පිළිබඳ දැනුවත් කිරීමේ ලිපියක්, දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් සමූපාකාර අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත යොමු කර ඇතැයි, ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. ඒ අනුව ධීවරයන්ගේ භූමිතෙල් අවශ්‍යතාව සපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර 50 බැගින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

    ධීවරයන්ගේ අවශ්‍යතාව සඳහා භූමිතෙල් බවුසර් 357 ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබෙනවා. එහෙත් ඉන්ධන පිරවුම්හල් විසින් ලබාගෙන ඇත්තේ බවුසර 206 ක් පමණයි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33 ක අතිරේක පිරිවැයක් දරා ඇති මුත්, ධීවර ප්‍රජාවට භූමිතෙල් සැපයීම නිසි ලෙස සිදුකර නැතැයි වාර්තා වනවා. එමගින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකි වී ඇති බවයි, ලිපියෙන් පෙන්වා දී අත්තේ.     

    ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම, රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනු ලබන අතර ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීම ද මෙමගින් අපේක්ෂා කෙරෙනවා. එබැවින් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබය යුතු ප්‍රදේශ තීරණය කිරීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව ධීවර අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දී ඇතැයි එම ලිපියේ සඳහන්.

    පළාත් ධීවර අමාත්‍යාංශය සහ පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් ධීවර දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව හා එක්ව ධීවරයින්ට අවශ්‍ය භූමිතෙල් අනුමත සීමාවක් තුළ සැපයීම සඳහා වන වගකීම ලබා දී තිබෙනවා. ඒ සඳහා පෞද්ගලික සමූපකාර හෝ වෙනත් බලය ලත් ඉන්ධන පිරවුම්හල් මගින් හෝ නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් වෙත අඛණ්ඩව භූමිතෙල් සැපයීම සිදුකරන ලෙසයි ලිපියෙන් අදාළ පාර්ශව වෙත දැනුම් දී ඇත්තේ.

    Latest News