මෙරට බෝග වගාවට වැඩියෙන්ම හානි කරන සත්තු මෙන්න

නොවැ 09, 2022

    වන සතුන් වර්ග 6 දෙනෙකු මෙරට වාර්ෂික බෝග අස්වැන්නෙන් සියයට 40 ක් විනාශ කරන බව, සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

    අලියා, මොණරා, රිලවා, වඳුරා, වල්ඌරා හා දඬු ලේනා එම සතුන් අතර වනවා.

    ශ්‍රී ලංකාවෙන් වනසතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව හෙක්ටර් කොබ්බෑකඩුව, ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය සිදු කළ සමීක්ෂණයකින් මේ බව තහවුරු වුණා.
    එම ආයතනයේ අධි පර්යේෂක රේණුකා වීරක්කොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් සමීක්ෂණ කණ්ඩායමක් විසින් එය සිදු කරනු ලැබුවා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදේශකත්වය ද ඊට හේතු වුණා. මෙරට වී පලතුරු හා එළවලු වගාවන්ට මෙන්ම, පොල්, කොකෝවා වැනි ආර්ථික බෝගයන්ට ද වන සතුන්ගෙන් සිදු වන ආර්ථිකමය බලපෑම හා ඒ නිසා රටට අහිමි වන ආදායම කෙතෙක් ද යන්න, ‍මෙම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

    වන අලින්ගෙන් සිදුවන හානිය, අනෙකුත් සතුන්ගෙන් සිදුවන හානියට වඩා අවම මට්ටමක පවතිනවා. වැඩිම හානි සිදු වන්නේ, පොල් හා වී වගාවටයි. රිලවුන්, වඳුරන් හා දඬුලේනන්, වසරකට පොල්ගෙඩි මිලියන 107 ක් විනාශ කරන බව, සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. වී ඇතුළු බෝග රැසකට මොණරුන්, අතිවිශාල හානියක් සිදු කරන බවයි, වාර්තාවේ දැක්වෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්, රෝහණ පුෂ්පකුමාර මහතා පසුගියදා එම වාර්තාව අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දුන්නා. වඩා වැදගත් වන්නේ, වනසතුන්ගෙන් සිදුවන හානි වලක්වා ගැනීම සඳහා වන වැඩපිළිවෙළක් සැකසීම බව, පැවසූ අමාත්‍යවරයා, සියලු පාර්ශ්වයන්ගෙන් අදහස් හා යෝජනා ලබා ගනිමින් ඊට උචිත වැඩපිළිවෙළක් මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දෙන්නැයි, අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

    Latest News