රු. බි. 1.8 ක ඖෂධ ආධාර චීනයෙන්

ඔක් 27, 2022

    චීන මානුෂීය ආධාර වැඩසටහනේ දෙවන අදියරේ 2 වන කොටස ලෙස රුපියල් බිලියන 1.8 ක ඖෂධ තොගයක් අද (27) මෙරටට ලැබිණි.

    වකුගඩු , ජලභීතිකා , පෙනහළු ආසාදන ,පිළිකා ආදී රෝග සඳහා මෙන්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ තොගයක් මෙම පරිත්‍යාග අතර වේ. එම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා වෙත ශ්‍රී ලංකාවේ චීන තානාපති  කියු ෂෙන්හොං (Qi Zhenhong) මහතා විසින් භාරදෙනු ලැබීය.

    චීන මානුෂීය ආධාර දෙවන කොටසේ මේ වන විට  රුපියල් බිලියන 3ක ඖෂධ තොගයක් මෙරටට ලැබී තිබේ. එහි තවත් ඖෂධ තොගයක් ඉදිරි මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත අතර දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 17 ක් ලැබීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාව මෙම අභියෝගාත්මක අවස්ථාවේදී අදාළ ආධාර දැඩි අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබාදීමට කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලය පවසයි.

    මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියයේ මෙම සහනාධාර තොගය වෙනුවෙන් අවංකවම ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලාංකීය  පුරවැසියන් වෙනුවෙන් ස්තුතිය ප්‍රකාශ කර සිටින බවත් දිනපතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැස් වෙමින් ඖෂධ තත්ත්වය පිළීබඳ සාකච්ඡා කරමින් ක්‍රියා කරන බවත් ය. 

    මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන,අධ්‍යක්ෂ (ඖෂධ ආධාර සම්බන්ධීකරණ) වෛද්‍ය අන්වර් හම්දානි  ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

    Latest News