බම්බලපිටිය අනතුරේ සැකකරු ලබන 01 දක්වා යළි රිමාන්ඩ්

මාර් 18, 2019

    පසුගිය දා බොරැල්ල පොලීසයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමට සම්බන්ධ සැකකරු ලබන 01 දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කර තිබේ.

    මෙම අනතුරට සම්බන්ධ ඩිෆෙන්ඩර් වාහනය පැදවූ රියදුරු වන නවිදු ඔමේෂ් රත්නායක අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී සාක්ෂිකරුවකු විසින් හඳුනා ගනු ලැබිණ. මෙම අනතුර සිදුවූ අවස්ථාවේ මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් විසින් එම හඳුනා ගැනීම සිදුකර තිබේ.

    ඒ අතර දැනට රිමාන්ඩ් භාරයේ පසුවන මෙම සැකකරු ඇප මත මුදාහරින මෙන් ඔහුගේ නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීම් කර ඇත.

    ඒ සම්බන්ධව පොලිසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ මෙම සිද්ධියට අදාළව මුලින්ම රථවාහන වැරදි යටතේ කරුණු ඉදිරිපත් කර තිබුණත් දැන් අනතුරට ලක්වූ පොලිස් පරීක්ෂකවරයා මිය ගොස් ඇති බැවින් මිනීමැරීමේ චෝදනා යටතේ මෙම නඩුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි.

    ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය ප්‍රකාශ කළේ මෙම සැකකරුට ඇප දීම සඳහා තම අධිකරණයට බලයක් තිබේද යන්න පිළිබඳව ගැටලුවක් මතුවන බවයි.

    එම නිසා අදාළ සැකකරු ලබන 01 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ මහෙස්ත්‍රාත්වරිය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද නියම කර ඇත.

    ඒ අතර දැනට පොලිසිය භාරයේ පවතින මෙම අනතුර සිදුකල ඩිෆෙන්ඩර් රථයට පසුපසින් ගමන් ගත් මෝටර් රථය, එහි ලියාපදිංචි අයිතිකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී පියංකර ජයරත්න මහතා වෙත මුදා හැරීමට ද අධිකරණය නියම කර තිබේ.

    Latest News