රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව, ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත වියයුතුයි - ජනාධිපති

ඔක් 12, 2022

    රටක ආරක්ෂාව යුදමය වශයෙන් පමණක් නොව, ආහාර සහ ආර්ථික වශයෙන් ද සුරක්ෂිත වියයුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති ජාතික ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමේ වැඩසටහනේ ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී, ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා.

    කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්,  ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, රේඛීය අමාත්‍යාංශ ලේකම්වරුන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියා. ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ, ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීමේ වැඩසටහන ක්‍රියාවට නැංවීමේදී මතුව ඇති ගැටලු හුදෙක් රාජ්‍ය යාන්ත්‍රණය තුළ පවතින කඩාවැටීම නිසා සිදුව ඇති තත්වයක් නම්, ඒවා නිරාකරණය කරගැනීම සඳහා ඕනෑම අවස්ථාවක මැදිහත් වීමට තමා සූදානම් බවයි. මෙම වැඩපිළිවෙළ ඔස්සේ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම හා ආහාර සුරක්ෂිතතාව පිළිබඳ නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ''කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය" යන්න තේමා කරගනිමින්,  ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කෙන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය දීපව්‍යාප්තව පසුගියදා ක්‍රියාවට නංවනු ලැබුවේ ජනාධිපතිවරයාගේ උපදෙස් අනුවයි. මෙහිදී එම වැඩසටහ‍නේ ප්‍රගතිය දිස්ත්‍රික් මට්ටමෙන් විමසා බැලුණු අතර, මේ වනවිටත් සියලුම දිස්ත්‍රික්කවල ග්‍රාමීය මට්ටමින්, ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටු පිහිටුවා ඇති බව, ප්‍රකාශ කෙරුණා.

    ආහාර සුරක්ෂිතාව සහ ‍පෝෂණය සහතික කිරීමට වැඩසටහන් ආරම්භ කර ඇති බවත් හෙළි කෙරුණා. වගා කටයුතු කරගෙන යාමේදී පවතින බාධක සහ ගැටලු ද සාකච්ඡාවට බඳුන් වුණා. ඉන්ධන සහ පොහොර සපයා ගැනීම, ඉඩම් ගැටලු, බීජ හිඟය සහ වන සතුන්ගෙන් වන හානි පිළිබදව ද විශේෂ අවධානයක් යොමු කෙරුණා. දිස්ත්‍රික් මට්ටමින් වැඩසටන ක්‍රියාත්මක කිරීමට අදාළව දිස්ත්‍රික් ලේකම්වරුන් ඉදිරිපත් කළ ප්‍රගතිය සම්බන්ධයෙන්, අවධානය යොමු කළ ජනාධිපතිවරයා ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් සිදුකළ යුතු බෝග වගා පිළිබඳව වෙන් වෙන් වශයෙන් හඳුනා ගන්නා ලෙසත්, ආහර හිඟතාවය සහිත ප්‍රදේශ හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් ඉදිරිපත් කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දුන්නා. ජනාධිපතිවරයා වැඩිදුරටත් උපදෙස් දුන්නේ මෙම තොරතුරු මත පදනම්ව, ආහාර බැංකු සහ ප්‍රජා මුළුතැන්ගෙය යන වැඩසටහන් දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරන ලෙසයි.

    Latest News