බ්‍රිගේඩියර් ප්‍රියංක චෝදනාවලින් නිදහස්

මාර් 18, 2019

    එල්ටීටීඊ ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබා දී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය, ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කර තිබේ. 

    මැයි 7 වැනිදා නඩුව නැවත කැදවීමේ දින නියම කරමින් එමා අර්බත්නෝට් විනිසුරුවරිය සඳහන් කළේ අධිකරණ කාර්යමණ්ඩලයේ අත්වැරදීමකින් මෙම නඩුවට අදාළ වැදගත් ලියකියවිලි කිහිපයක් බ්‍රිග්‍රේඩියර්වරයාට එරෙහි නඩු තීන්දුව ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු එම ලියකියවිලිවලට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම නොතකා හැර තිබීය එයට ප්‍රධාන හේතුවයි.

    පසුගිය වසරේ දී ලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවති නිදහස් දින සමරු උත්සවයට බාධා කරමින් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළ එල්ටීටීඊ හිතවාදීන් වෙත එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලයේ කටයුතු කළ බ්‍රිග්‍රේඩියර් ප්‍රියංක අභිනයකින් ඔවුන්ට මරණ තර්ජන සිදු කළැයි පවසමින් පැනවූ නඩුව වසරකට වැඩි කාලයක් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විභාගයට ගැනිණ.

    ශ්‍රී ලංකා රජය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා බ්‍රිතාන්‍ය රජයට දැන්වූයේ බ්‍රිග්‍රේඩියර්වරයාට රාජතාන්ත්‍රික මුක්තිය ඇති බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීම හෝ අධිකරණ නියෝග ලබාදීමට සිදුකළ නොහැකි බවයි.

    ප්‍රධාන විනිසුරුවරිය විසින් අදාළ නඩුව නැවතත් මුල සිටම කැඳවීමට නියෝග දීම සමග කලබලයට පත්වූ එල්ටීටීඊ හිතවාදීන් බලාපොරොත්තු සුන්ව හැසිරෙනු දැකගත හැකිවිය.

    පසුව ඔවුහු අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට චෝදනා කරමින්, පරුෂ වචනවලින් කළහකාරී ලෙස හැසිරුණහ.

    අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන පිරිස හඹාවිත් විවිධ ප්‍රශ්න අසමින් ගැටුමකට හෝ ආරවුලකට මුලපුරා ගැනීමට ප්‍රබල උත්සාහයක ද ඔවුහු නියැලුණි. එම සිද්ධියට මුහුණදුන් කිහිප දෙනෙක් ඒ සම්බන්ධයෙන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය හා පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කළහ.

    එල්ටීටීඊ සංවිධාන බ්‍රිතාන්‍ය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් බැවින් මෙලෙස එල්ටීටීඊ ධජ හා එල්ටීටීඊ නායකයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් එම පිරිස ලන්ඩන් ත්‍රස්ත මර්දන ඒකකය ද දැනුවත් කළහ.

    ජනක අලහප්පෙරුම ලන්ඩනයේ සිට
    (අද පුවත් පත )

    Last modified on සදුදා, 18 මාර්තු 2019 12:10

    Latest News