ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටිනවා - ජනපති

ඔක් 06, 2022

    ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් නොපිරිහෙළා ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    රජය, දරුවන් වෙනුවෙන් පැහැබර අනාගතයක් සැලසුම් කරමින් සිටින මේ අවස්ථාවේ, ඔවුන්ට අධ්‍යාපනය ලබාදීමේ වගකීමට උරදී සිටින ගුරුවරුන්, තම වගකීම් නිසි ලෙස ඉටු කරනු ඇතැයි, තමා අපේක්ෂා කරන බවද, ජනාධිපතිතුමා කියා සිටිනවා. ලෝක ගුරු දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ මේ බව සඳහන්.

    ඔක්තෝබර් 5 ලෝක ගුරු දිනය ලෙස නම් කරනු ලැබ ඇත්තේ, යුනෙස්කෝ සංවිධානය විසින්. ඒ, 1994 වසරේ සිටයි. ලෝක ගුරු දිනයට සමගාමීව, මෙරට ගුරු දිනය අද සමරනු ලබනවා. අධ්‍යාපන සේවාවට ගුරුවරුන් දක්වන දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමකට ලක් කෙරෙන අතර, ගුරු වෘත්තියට අදාළ ගැටලු නිරාකරණය කර ගැනීම හා ගුරුවරුන්ගේ අයිතිවාසිකම් සහ වගකීම් හඳුනාගැනීම සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කෙරෙනවා.

    ගුරුවරයා, අනාගත ලෝකය වෙනුවෙන් ඉටු කරමින් සිටින්නේ, ඉගැන්වීමෙන් ඔබ්බට ගිය සුවිශේෂී මෙහෙවරක්. ඒ නිසාම, ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තියට මුල්තැනක් හිමි වනවා.

    ගුරුවරයා යනු, ප්‍රඥාවේ සහ හදවතේ එකතුවක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ලෝක ගුරු දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා නිකුත් කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙන්නේ, ලොව ශ්‍රේෂ්ඨතම වෘත්තීන් අතර ගුරු වෘත්තිය මුල්තැන ගන්නේ, ලෝකයේ හා මනුෂ්‍ය වර්ගයාගේ රඳාපැවැත්ම සඳහා වූ මඟ නොමඟ පසක් කරන මාර්ගෝපදේශකයා ගුරුවරයා වන හෙයින් බවයි. ගුරු සේවාව වෘත්තියක්ම නොව, සේවයකටත් එහා ගිය වගකීමක් බව, පොදු පිළිගැනීම වන අතර, ගුරුවරයා සමාජයෙහි ඉහළින්ම ඔසවා තබා ඇත්තේ, ඒ නිසයි.

    ගුරුවරයා සහ ගුරු වෘත්තිය වෙනුවෙන් වූ වගකීම් වූ නොපිරිහෙළා ඉටු කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව, ජනාධිපතිතුමා අවධාරණය කරනවා. දේශපාලනය මත ගුරු පත්වීම් ලබාදීම අත්හිටුවා, විද්‍යා පීඨ ක්‍රමය ඇති කිරීමටත්, 

    ගුරුවරයාට දියුණු ලෝකය සමග මුසුවීමේ අවස්ථාව සලසමින්, ඉංග්‍රීසි භාෂාව හැදරීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමටත්, තමා එවක අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පියවර ගත්තේ ගුරු වෘත්තියේ ගෞරවය ආරක්ෂාක කිරීම උදෙසා බව, ජනාධිපතිතුමා සිය පණිවුඩයෙන් සඳහන් කර තිබෙනවා. දරුවන් සඳහා පැහැබර අනාගතයක් සැලසුම් කරමින් සිටින මේ අවස්ථාවේ ඒ වෙනුවෙන්, ගුරුවරුන් සිය වගකීම් උපරිමයෙන් ඉටු කරනු ඇතැයි, ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා.

    Latest News