හෙටට යෙදෙන ලෝක ගුරු දින සැමරුම නිමිත්තෙන්

ඔක් 04, 2020

    “තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරන දැයේ ගුරු පරපුර”

    රටක සියලුම අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාවට නංවන ආයතනය වන්නේ පාසලයි. මානව සංස්කෘතිය පවරාදීමේ දී ප්‍රමුඛතම ගාමක බලවේගය (Driving Force) අධ්‍යාපනය වන බැවින් පාසල නමැති සමාජ සංස්ථාවට වැදගත් කාර්යභාරයක් පැවරී ඇත. පාසල දරුවකුගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සපයනු ලබන කේන්ද්‍රස්ථානයයි. වයස අවුරුදු 06 දී පාසලට පිවිසෙන දරුවකුගේ දෙවන මවුපියන් විදුහල්පතිවරුන් හා ගුරුවරුන් ය. සිසුන්ට දැනුම ලබාගැනීමට, කුසලතා වැඩිදියුණු කිරීමට, ධනාත්මක ආකල්ප ගොඩනගා ගැනීමට මෙන්ම සාර්ථකත්වයට නිවැරදි මාවත තෝරාගැනීමට මඟ පෙන්වා දෙනු ලබන්නේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ය.

    සමාජ, ආර්ථික, සංස්කෘතික විවිධතා සහිත දරුවන් හට සමාන අධ්‍යාපන අවස්ථා සලසා දෙමින් ඔවුන්ගේ අනාගතය නිර්මාණයෙහි ලා ගුරුවරයා විසින් ඉටු කරන කාර්යයභාරය සුවිශේෂී වේ. දසතින් ගලා එන දැනුම් ප්‍රවාහය, අවශෝෂණය කර ගනිමින් තම අත්දැකීම් හා මුසු කොට උචිත ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද ඔස්සේ දරුවන් වෙත සම්ප්‍රේෂණය කරනුයේ ගුරුවරයා ය. ගුණ නැණ බෙලෙන් යුතු සමබර පුරවැසියකු තැනීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ගුරුභවතුන් සිය වර්තමානය දැයේ හෙට දවස වෙනුවෙන් නිර්ලෝභීව කැප කරති. ඒ අනුව පරපුරෙන් පරපුරට සංස්කෘතිය පවරා දෙමින් මිනිස් වර්ගයාගේ යහපැවැත්ම උදෙසා මාර්ගෝපදේශ සැපයීම හේතුවෙන් ලොවෙහි උතුම්ම වෘත්තිකයා වන්නේ ගුරුවරයාය.

    ගුරුවරයාගේ විශේෂ අවධානය ඉගැන්වීම් කාර්ය කෙරෙහි යොමු වී පැවතිය ද වර්තමානයේ දී එය පුද්ගල සංවර්ධනය, සමාජ සංවර්ධනය, ශිෂ්‍ය ඉගෙනුම් අත්දැකීම් පුළුල් පරාසයකට යොමු කිරීම වැනි ක්ෂේත්‍ර ගණනාවක් සමඟ බැඳී පවතී. වසර 30 කට පමණ එපිටින් වූ ලෝකය සඳහා ප්‍රවිශ්ටවන දරුවන් නිර්මාණය කරන ගුරුවරයා අනාගතය විනිවිද දකින්නෙකු විය යුතු ය. බොහෝ විට ගුරුවරුන් දෙමපියෙකු, මිතුරෙකු, උපදේශකයෙකු, ආරක්ෂකයෙකු වශයෙන් විවිධ භූමිකා ඔස්සේ කටයුතු කරමින් සමාජයේ වටිනා සාමාජිකයන් වීමට සිසුන්ට මඟපෙන්වනු ලබන අතරම සිසු දරුවන්ට යහපත් ආදර්ශ සැපයීම තුළින් එම මෙහෙවර වඩාත් සාර්ථකව ඉටු කරති. විවිධ ප්‍රවේශ ඔස්සේ සිදුවන ශිෂ්‍ය සංවර්ධන ක්‍රියාවලිය සඳහා ඵලදායීව දායකවීමට නම් ගුරුවරයා වෘත්තීයමය නිපුණයෙකු විය යුතු ය. පාසලේ දී මෙන්ම සමාජයේ දී ද තම ගුරු භූමිකාව නිවැරදි ව හසුරුවා ගැනීම සහ විවිධ අවශ්‍යතාවලට අනුරූප වන සේ තම කාර්යභාරය ඉටු කිරීම ගුරුවරයාගේ වගකීමකි.

    වසර 2030 දී සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්කයක් වන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සහ ශ්‍රී ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා දැනුම, කුසලතා, ආකල්ප හා වටිනාකම්වලින් සමන්විත පාසල් ප්‍රජාවක් බිහි කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා අධ්‍යාපන පද්ධතිය තුළ ගුරුවරයා සිදු කරන සේවය කොතරම් දුරට ගුණාත්මක ද යන්න ස්වයං ව විමසීමට ලක් කිරීම ඉතා වැදගත් වේ. එමඟින් ගුරු කාර්යභාරය පිළිගත් සහ අපේක්ෂිත ප්‍රමිතියට අනුකූල ව පවත්වා ගැනීම සඳහා යම් මඟපෙන්වීමක් ගුරුවරයාට ලැබෙන අතර, එය වඩාත් ගුණාත්මකභාවයෙන් යුතු ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ස්ථාපිත කිරීම සඳහා ඉවහල් වනු ඇත. ඕනෑම කාර්යයක ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රඳා පවතිනුයේ, එම කාර්යය හා සබැඳි පුද්ගල නිපුණතා මත වන අතර, ප්‍රශස්ත වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් පාසල් පද්ධතිය තුළ ස්ථාපිත කිරීම සඳහා නිපුණතාවලින් පරිපූර්ණ වූ ගුරුභවතුන් සිටීම අත්‍යවශ්‍ය වේ.

    සමාජ, ආර්ථික සහ සංස්කෘතික වෙනස්කම් හමුවේ ගුරුවරයාගේ කාර්යභාරය ද දිනෙන් දින පරිණාමයට ලක් වී ඇත. විශ්වීය තත්වයන්ට අනුව සහ රැකියා‍ වෙළඳ‍ පොළ හා ගැළපෙන පුරවැසියෙකු නිර්මාණය කිරීමට සිදුවීම මෙන්ම අන‍පේක්ෂිතව ලොවම මුහුණ පෑ කොවිඩ් 19 ව්‍යසනය වැනි අවස්ථා හමුවේ ද ගුරුවරුන් මුහුණ දුන් අභියෝග රාශියකි. ඒවා සඳහා නොසැලී මුහුණ දෙමින් ලොව පුරා ගුරුභවතුන් සාධනීය කාර්යභාරයක් ඉටු කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ ද ගුරුභවතුන් විවිධ වූ දුෂ්කරතාවයන් මැද තම කාලය, ශ්‍රමය කැප කරමින් සුවහසක් වූ දරු දැරියන්ගේ නැණ නුවණ පාදන්නට ගත්තා වූ වෑයම වත්මන් සමාජයේ බොහෝ කතා බහකට ලක් විය. කෝවිඩ් 19 ව්‍යසන අවස්ථාවේ දී ද නිවසේ වෙසෙන දරුවන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ විෂය ආවරණය කිරීම සඳහා ගත් උත්සාහය ප්‍රශංසනීය ය. අවම පහසුකම් යටතේ වුව ද පවතින සම්පත් කළමනාකරණය කර ගනිමින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට ඇප කැපවන ශ්‍රී ලාංකේය ගුරුභවතුන් අතිශයින්ම අගය කළ යුතු ය.

    ගුරුවරයෙකුගේ නිපුණතා පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ශිෂ්‍ය අවශ්‍යතා, විවිධතා හා විභව්‍යතාවල වැදගත්මක හඳුනා ගනිමින් ඵලදායිව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත වීම ඉතා වැදගත් වන අතර ඊට අනුකූල ව උචිත උපායමාර්ග, ඉගෙනුම් ක්‍රම හා ක්‍රම ශිල්ප භාවිත කළ යුතු ය. යාවත්කාලීන වූ ඉගෙනුම් සම්පත් සහ නිර්මාණශීලි ඉගෙනුම් පරිසරයක් සකස් කර ප්‍රශස්ත ලෙස භාවිත කිරීම මෙන් ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා හැකි සෑමවිටම නව තාක්ෂණික ක්‍රමවේද භාවිත කරමින් සිසුන් ඒ සඳහා යොමු කිරීම ඉතා වැදගත් ය. සිසුන් ස්වයං අධ්‍යයනයට යොමු කිරීමට අවශ්‍ය මගපෙන්වීම හා ශිෂ්‍යයාගේ සැබෑ ජීවන අත්දැකීම් හා සම්බන්ධ වන සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ගැලපීම අත්‍යාවශ්‍ය ය. විවිධ කුසලතා (චින්තන හැකියා, මෘදු කුසලතා හා නිර්මාණශීලී ක්‍රියාකාරකම්) සංවර්ධනය සඳහා සිසුන් යොමු කළ යුතු අතර උචිත පරිදි තක්සේරුකරණය හා ඇගයීම ක්‍රියාත්මක කර ඉගෙනුම් ඵල සාධනය කරා යොමු කළ යුතු වේ.

    මේ සඳහා වෘත්තික‍යෙක් වශ‍යෙන් ගුරුවරයා සවිබල ගැන්වීම උ‍දෙසා පහත සදහන් ප්‍රධාන කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවට ජාත්‍යන්තර මට්ට‍මෙන් ද අවධානය යොමු ව ඇත. ‍

    · ගුරු වෘත්තිය සම්බන්ධව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රතිමාන අනුව සැකසූ ඇගයීම් උපකරණ භාවිතයෙන් ගුරු කාර්යභාරය නියාමනය.

    · එක් එක් රටවල ගුරුවරුන් සම්බන්ධ පවත්නා ප්‍රතිපත්ති සහ උපායමාර්ග විවරණය කර ඒවා සංවර්ධනය.

    · ගුණාත්මක ඉ‍ගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය.

    · 2030 වර්ෂ‍ය වනවිට අත්පත් කර ගත යුතු අධ්‍යාපනය සම්බන්ධ තිරසාර සංවර්ධන අරමුණු කරා ළඟා වීම සඳහා ගුරුවරුන්ගේ දැනුම, ඉගැන්වීම් සහ නියාමන ක්‍රමවේද සංවර්ධනය.

    · ගුණාත්මක ඉ‍ගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් සඳහා ගුරුවරුන්ට මාර්ගෝප‍දේශ සැපයීම සහ දැනුම හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසීම.

    එ‍මෙන්ම විධිමත් ප‍ටිපාටි අනුව බඳවා ගැනීම, විෂයානුබද්ධව පුහුණු කිරීම, වෘත්තීය සුදුසුකම් සම්පූර්ණ කිරීම‍ට අවස්ථා සැලසීම, අභිප්‍රේරණය කිරීම සහ අවශ්‍ය සම්පත් සැපයීම තුළින් ද ගුරුවරයා‍ එලදායී වෘත්තිකයෙකු වශයෙන් සංවර්ධනය කළ හැකිවේ.

    විශ්වීය තත්වයන්ට ගැළපෙන පරිදි ශ්‍රී ලාංකික ගුරුවරයා සංවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විවිධ කාර්යයන් ඉටු කරයි. ගුරුවරුන් සඳහා විවිධ වෘත්තීය සංවර්ධන අවස්ථා සැපයීම, ජාතික මට්ට‍මෙන් වාර්ෂිකව ගුරු හා විදුහල්පති ඇගයීම් වැඩසටහන් පැවැත්වීම ‍ මෙන්ම ගුරුවරුන්ගේ කාර්ය සාධනය ඉහල නැංවීම සඳහා ඉදිරි වර්ෂ‍යේ සිට ස්වයං තක්සේරු ක්‍රමවේදයක් ලෙස ගුරු නිපුණතා රාමුවක් පාසල් පද්ධතිය‍ට හදුන්වා දීමට ද සැලසුම් කර ඇත.

    එ‍මෙන්ම ගුරු වෘත්තීය අභිමානය ඉහල නැංවීම පිණිස ශ්‍රී ලංකාවේ ගුරු සංගම් නායකයෙකු වන එම්.ජී.මෙන්ඩිස් මහතාගේ යෝජනාවකට අනුව 1990 වර්ෂ‍යේ සිට ලෝකයෙහිම ජාත්‍යන්තර ගුරු දිනය සැමරීම ලාංකිකයින් වන අපට සුවිශේෂී අවස්ථාවකි.

    2020 වර්ෂ‍යෙහිද “තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරනුයේ ගුරුවරයාය” යන‍ තේමාව ඔස්සේ ජාත්‍යන්තර ගුරු දිනය සැමරීම‍ට සැලසුම් කර ඇත. විශේෂ‍යෙන්ම ගෝලීය වසංගත තත්වය හමුවේ ගුරුවරුන් මුහුණපෑ අභියෝග අත්පත් කරගත් සාධනීය තත්වයන්, නැවත පාසල් ආරම්භයත් සමඟ ඇතිව තිබෙන වෙනස්කම්වලට ගුරුවරුන් අනුගතවීම සම්බන්ධව ද මෙවර විශේෂ අවධානයක් යොමු ව ඇත.

    දැයේ සුවහසක් සිසු ප්‍රජාව‍ගේ දිවිමග ඒකාලෝක කිරීමට නොමඳ ව වෙහෙසෙන විශිෂ්ට වූ ගුරු හා විදුහල්පතිවරුන‍්ගේ අමිල මෙහෙවර‍ට උපහාරයක්ම වේවා! යන්න අධ්‍යාපන අමාත්‍යාංශ‍යෙහි ප්‍රාර්ථනයයි.

    Latest News