මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දිනය (වීඩියෝ)

මාර් 17, 2019

    මාර්තු 17 සැලකෙන්නේ මෙරට ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය දිනය ලෙසයි.

    ඒ, ශ්‍රී ලංකාව 1996 දී ලෝක ක්‍රිකට් කිරුළ දිනාගැනීමත් සමඟයි. ලෝක ක්‍රිකට් කිරුළ දිනා අදට වසර 23ක් සපිරෙනවා. ලොව ප්‍රබලතම ක්‍රිකට් කණ්ඩායම් සියල්ලට අභියෝග කරමින් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලෝක කුසලානය ජයග්‍රහණය කලේ, 1996 මාර්තු 17 වැනිදායි.

    එම වසරේ පෙබරවාරි මස 14 වැනිදා ආරම්භ වූ 6 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වුනේ පාකිස්තානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවලයි. අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

    පකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකා පිල ප්‍රබල ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර මුල්වරට ලෝක ක්‍රිකට් කුසලානය දිනා ගැනීමට සමත්වූහ. එදා-මෙදා තුර ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන ක්‍රිකට් කිරුළක් දිනා ගැනීමට නොහැකි විය. 2007 සහ 2011 වසරවලදී ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට හැකියාව ලැබිණ.

    මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මැසි මස 30 වැනි දින එංගලන්තයේදී ඇරඹේ. මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටියත්, ලෝක කුසලාන තරගාවලියේ දී දක්‍ෂතා අතරට පැමිණිමට හැකි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතී.

    ශ්‍රී ලංකා පිල ජුනි මස පළමුවැනිදා පළමුවෙන් සහභාගි වන්නේ නවසීලන්තය සමඟ තරගයටයි. දකුණු අප්‍රිකාව සමඟ ඊයේ අවසන් වූ එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජය වුවද, කණ්ඩායම රට වෙනුවෙන් ඉදිරියේදී තවදුරටත් කැපවී ක්‍රීඩා කරන බව, නායක ලසිත් මාලිංග පවසයි.

    Last modified on ඉරිදා, 17 මාර්තු 2019 20:29

    Latest News