ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව යන අයට ගුවන් ටිකට්පත් පිරිනැමේ

ඔක් 03, 2022

    ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවයේ රැකියා සදහා සුදුසුකම් ලැබූ රැකියා අපේක්ෂකයන් 17 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කර තිබේ.

    එය ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (2022.09.30) දින සිදුකරන ලදී. මොවුන් අද දින (2022.10.03) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර ඇතිකර ගත් ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවී තිබේ.

    ලොව හොඳම සාත්තු සේවා ආර්ථිකය ඇති රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමාගේ අපේක්ෂාව වන අතර, ඒ වෙනුවෙන් යුරෝපා, මැදපෙරදිග හා නැගෙනහිර ආසියානු රටවල සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් වැඩි වශයෙන් යොමුකිරීම සඳහා මේ වනවිට කටයුතු කරමින් පවතී.

    එසේම කලක් තිස්සේ පැවති ඊශ්‍රායල් රැකියා සම්බන්ධ ගැටළු අවම කිරීම සඳහාද අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පසුගියදා ඊශ්‍රායල් රැකියා අපේක්ෂිතයින් සමගද අමාත්‍යතුමා සාකච්ඡා කළේය.

    ඊශ්‍රායල් රැකියා සඳහා යොමුකිරිම කඩිනම් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 2022 වසරේ අප්‍රේල් 28 වන දින සිට මේ දක්වා ශ්‍රි ලාංකිකයින් 152 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

    Latest News