විදුලි ගාස්තු සංශෝධනය ගැන, ජනපතිගෙන් මහ නාහිමිවරුන්ට ලිපියක්...

සැප් 24, 2022

    ආගමික සිද්ධස්ථානවල විදුලිය, අරපිරිමැස්ම වෙනුවෙන් ගෞරවණීය මහා සංඝරත්නය සිදු කරන ‍අනුශාසනාමය දායකත්වය හා ඉන් සමාජයට ලබාදෙන පූර්වාදර්ශය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කරනවා.

    විදුලි ගාස්තු සංශෝධනයෙන් ආගමික ස්ථාන මුහුණදෙන දුෂ්කරතා පිළිබඳ මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ මහනායක හිමිවරුන් වෙත ඊයේ විශේෂ ලිපියක් යොමු කරමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කරනවා. පසුගිය වසර කිහිපයේ රටේ ක්‍රමිකව වර්ධනය වූ ආර්ථික අර්බුදයේ සෘජු ප්‍රතිඵලයක් ලෙස විදුලි අර්බුදය පැන නැගී ඇති බව, ජනාධිපතිතුමා සඳහන් කරනවා.

    ඒ සියලු තත්වයන් රටේ මහජනතාවගේ සහ සමස්ත ආගමික ප්‍රජාවගේ යහපත උදෙසා ක්‍රමිකව විසඳාදීම තමා ප්‍රමුඛ රජයේ වගකීම ලෙස දකින බවයි, ජනාධිපතිවරයා සිය ලිපියෙන් පෙන්වා දෙන්නේ.  මේ වසරේ ‍රටේ බෞද්ධ සිද්ධස්ථාන සහ අනෙකුත් ලියාපදිංචි ආගමික හා සමාජ සේවා ස්ථාන 42,950ක් ප්‍රධාන විදුලිබල ජාලය හා සම්බන්ධ වනවා.

    ඉකුත් වසරේ ඒ වෙනුවෙන් විදුලි ඒකක මිලියන 91ක් ලබාදී තිබෙනවා. පැවති විදුලි අය ක්‍රමය යටතේ රුපියල් 7යි ශත 17ක් සාමාන්‍ය ඒකකයක් සඳහා විදුලිබල මණ්ඩලය අය කරගෙන ඇති අතර, තවත් රුපියල් 11යි ශත 46බැගින් සෑම ආගමික විදුලි පරිභෝජන ඒකකයක් වෙනුවෙන් මණ්ඩලය වැය කර ඇති බවයි, ජනාධිපතිතුමාගේ ලිපියේ දැක්වෙන්නේ.

    අද වන විට බෞද්ධ සිද්ධස්ථාන සහ අනෙකුත් ලියාපදිංචි ආගමකි හා සමාජ සේවා ස්ථාන 15,527ක් විදුලි ඒකක 30ට අඩුවෙන් භාවිත කරනවා. තවත් 9,441ක් විදුලි ඒකක 31ත් - 90ත් අතර ප්‍රමාණයකුත්, ස්ථාන 3,274ක් විදුලි ඒකක 91ත් - 120ත් අතර, විදුලි පරිභෝජනයක් සිදු කරනවා. ආගමික ස්ථාන 4,972ක් විදුලි ඒකක 121ත් 180ත් අතර පරිභෝජනය කරන බවයි, එහි දැක්වෙන්නේ.

    බෞද්ධ විහාරස්ථාන සහ අනෙකුත් ලියාපදිංචි ස්ථාන සහ සමාජ සේවා ස්ථාන 33,214ක් පවතින නව විදුලි අය ක්‍රමය යටතේ වුවද මාසික විදුලිබිල සඳහා දරන වැඩිම මුදල වන්නේ, රුපියල් 4,000 ක්.   ඊට වැඩි මුදලක් දැරීමට සිදුවන්නේ, විදුලි ඒකක 180ට වඩා පරිභෝජනය කරන ස්ථාන 9,800කට ආසන්න සංඛ්‍යාවකට පමණයි.

    ඉතාමත් අධික මට්‍ටමේ විදුලි බිලක් ගෙවීමට සිදුවන ආගමික සිද්ධස්ථාන වෙත සූර්ය පැනල යෙදීම අතිශය ප්‍රායෝගික වන අතර, එසේ නොකොට වෙනත් විකල්ප වැඩපිළිවෙලක් මගින් සිදුවන්නේ, කෙටි කාලීන පහසුවක් පමණක් බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් පෙන්වා දෙනවා.

    Latest News