හිටපු ජනපති මෛත්‍රීට නොතීසි

සැප් 16, 2022
    පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්තවාදි ප්‍රහාරය නොසැලකිලිමත් ලෙස වලක්වාගැනීමට ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලක සැකකරු වශයෙන් නම් කෙරුණු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ඔක්තෝම්බර් මස 14 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
    සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත  පුද්ගලයෙකු  වන ජේසුදාසන් නඩේසන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදුකර තිබේ.
    පෙත්සම්කම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වා තිබේ.
     
    ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍හාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා එය වළක්වා ගැනීමට නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවයි.
    ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහි සැකකරුවකු වශයෙන් නම් කර ඔහු අධිකරණය හමුවට කැඳවීම සඳහා නොතීසි නිකුත් කරන ලෙස  ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබිණ.
     
    ඉල්ලීම පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අදාළ නඩු කරයේ සැකකරු වශයෙන් නම් කරමින් ඔහුට ඔක්තෝබර් මස 14 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කළේය.  
     
     
     
     

    Latest News