ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට සහය ලබාදෙන බව, අමෙරිකාව පවසයි...

සැප් 07, 2022

    ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට සහය ලබාදෙන බව, අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම් දී තිබෙනවා.

    ඇය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය විසඳීම සඳහා මූල්‍ය නීතිරීතිවලට අනුව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අමෙරිකානු මූල්‍ය ආයතනවල සහය ලබාදීමටත් කටයුතු කරන බවයි. ශ්‍රී ලංකාවේ නිල ද්වීපාර්ශ්වික ණය හිමියන්ට සම්බන්ධීකරණ වේදිකාවක් සඳහා වන ශ්‍රී ලංකා ජනාධිපතිතුමාගේ යෝජනාව පිළිගන්නා එක්සත් ජනපද භාණ්ඩාගාරය මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. එක්සත් ජනපදය සිය මූලධර්මවලට අනුකූලව මූල්‍ය සහතික කිරීම කඩිනම් කිරීම යන පොදු ඉලක්කය  ශ්‍රී ලංකාව සමග බෙදා ගනිමින්, පැරිස් සමාජයේ අනෙකුත් සාමාජිකයින් හා සම්බන්ධවීමට සූදානම්.  

    එක්සත් ජනපද භාණ්ඩාගාරය ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම ‍ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමග අඛණ්ඩව සම්බන්ධවීමටත් ප්‍රතිඥා දී තිබෙනවා. පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම, ගර්භනී කාන්තාවන් සහ නව මව්වරුන් සඳහා ආහාර වවුචර ලබාදීම, ආහාර නිෂ්පාදන ඉහළ නැංවීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ගොවීන්ට පොහොර සහ මුදල් ලබාදෙමින් එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ජනතාවට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගය ලබාදී ඇති බව ද භාණ්ඩාගාර ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. විස්තීරණ අරමුදල් පහසුකමක් මගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සිය ප්‍රසාදය පළ කර සිටිනවා.

    Latest News