මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රියට අත්සන් තැබේ (වීඩියෝ)

මාර් 13, 2019

    මාලඹේ-කොටුව සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදිකිරීමේ උපදේශන ගිවිසුමට අද අත්සන් තැබිණ.

    ජනතාවට වඩාත් සුව පහසු, ඉක්මන් ආරක්‍ෂාකාරී ප්‍රවාහන සේවාවක් ලබාදීම අරමුණයි. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ඊට ප්‍රතිපාදන සපයන්නේ, ජපානයේ ජයිකා ආයතනයයි. දිනෙන් දින ඉහළ යන මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය ඉදි කෙරේ.
    එය නැවතුම් පොළ 16කින් සමන්විතයි.

    මාලඹේ තොරතුරු තාක්‍ෂණ උද්‍යානයෙන් ආරම්භ වන මෙය තලාහේන, ලුම්බිණි පන්සල, රොබට් ගුණවර්ධන මාවත, පාලම් තුන, බත්තරමුල්ල, සෙත්සිරිපාය, වැලිකඩ, රාජගිරිය, කොටාපාර, බොරැල්ල, ජාතික රෝහල ඔස්සේ ගමන් කොට ශාන්ත ජොෂප් විද්‍යාලය ඉදිරිපිටින් කොටුව ප්‍රධාන ප්‍රවාහන කේන්ද්‍රයට ළඟාවීමට නියමිතයි. මාලඹේ සිට කොටුව දක්වා ගමන් කාලය විනාඩි 32ක්. මෙරට ඉතිහාසයේ රජයක් ආයෝජනය කරන විශාලතම ව්‍යාපෘතිය මෙය බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    “මේක අපිට ලැබෙන්නේ ජපානයෙන් ණය ආධාරයක් හැටියට. පොලිය සියයට .01යි. ඉතාමත් අඩුවට ජපානයෙන් මේක අපිට ලැබිලා තියෙන්නේ. මේ රටේ දැනට රාජ්‍ය ආයෝජනයක් කරලා තියෙන විශාලතම ව්‍යාපෘතිය මේක. මේකට මුළුමනින්ම වැය වෙනවා ඩොලර් මිලියන 2200ක්. සියළුම බදුත් එක්ක. මේක තමයි මේ රටේ ඉතිහාසයේ රජයක් ආයෝජනය කරන විශාලතම ව්‍යාපෘතිය. අපි බලාපොරොත්තු වෙනවා 2023-24 වෙනකොට මේ කටයුතු නිමකරලා ප්‍රවාහන ක්‍ෂෙත්‍රයේ විප්ලවීය පරිවර්තනය කරන්න“. යැයි අමාත්‍යවරයා පැවසීය.

    Last modified on බදාදා, 13 මාර්තු 2019 21:26

    Latest News