සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි, ජනපතිගෙන් මන්ත්‍රීවරුන්ට ඇරයුම්

ජූලි 30, 2022

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් එක්වන්නැයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබෙනවා. මන්ත්‍රීවරුන්ට ඊයේ ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදුකළා.

    රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයට සමගාමීව රටතුළ නිර්මාණය වූ දේශපාලනික හා සමාජයීය, අරාජිකත්වය ක්‍රමයෙන් යථාතත්වයට පත්කිරීම සඳහා මේ වන විට රජය මහත් පරිශ්‍රමයක් දරමින් සිටින බව, ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

    ඒ අනුව ක්‍රමවත් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම සඳහා වන මූලික සැලසුම් සකස් කරමින් පවතිනවා.

    ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරිම සඳහා අවශ්‍ය මූළික පියවර ද ගනිමින් සිටිනවා.‍ අප හමු‍වේ පවතින අභි‍යෝග සාර්ථකව ජයගැනීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ, විද්වත් කණ්ඩායම්, සිවිල් සංවිධාන ආදී සියලුම පාර්ශවයන්ගේ සහභාගීත්වයෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සිය අදහස බවයි, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ලිපියෙන් අවධාරණය කරන්නේ.‍ ‍

    මේ මොහොතේ පොදු මහජනතාවගේ අභිප්‍රාය පාර්ලිමේන්තුව තුළ ඔවුන් නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයින් පොදු වැඩපිළිවෙළක් ඔස්සේ ‍රටේ ආර්ථික හා සමාජයීය අර්බුදයන්ට පිළියම් සෙවීමට කටයුතු කිරීමයි.

    එය රජයේ සහ මන්ත්‍රීවරුන්ගේ ද යුතුකමක්. මෙම ජාතික වගකීම ඉටුකිරීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව පුළුල් සංවාදයක් ගොඩනැගීමට අදහස් කරන අතර ඒ සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ පක්ෂයේ එකඟතාව කඩිනමින් තමා වෙත යොමුකරන ලෙසයි, ජනාධිපතිතුමා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

    Latest News