දිවයින පුරා ඉන්ධන ‍‍බෙදාහැරීම කඩිනම් හා විධිමත් කරන ලෙස ජනාධිපතිගෙන් අදාළ බලධාරින්ට උපදෙස්...

ජූලි 23, 2022

    දිවයින පුරා ඉන්ධන ‍‍බෙදාහැරීම කඩිනම් හා විධිමත් කරන ලෙස ජනාධිපති තුමා අදාළ බලධාරින් අද උපදෙස් ලබාදුන්නා.

    ඒ ඉන්ධන ගැටලු සහ එහි ඉදිරි පියවර පිළිබඳ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී.  අධ්‍යාපන, ධීවර, සංචාරක, කෘෂිකාර්මික කටයුතු සහ පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන පෞද්ගලික සහ රජයේ බස්රථ සඳහා අවශ්‍ය ඉන්ධන බෙදාහැරීම විධිමත් සහ කඩිනම් කිරීම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

    HE2 900px 22 07 23

    එළඹෙන සඳුදා සිට දිවයින පුරා පාසල් ආරම්භ කිරීමේදී පාසල් ළමුන් සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම පිළිබඳව මෙහිදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රෙම්ජයන්ත් මහතා ජනාධිපතිතුමාගේ අවධානය යොමුකළා.ඒ අනුව පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්රථ සහ වෑන් රථ සඳහා අද පස්වරු 3.00 සිට දිවයින පුරා පිහිටි සියලු ලංගම ඩිපෝ මගින් ඉන්ධන සපයා ගැනීමට අවස්ථාව සලසන ලෙස ජනාධිපතිතුමා ප්‍රවාහන අමාත්‍යවරයාට උපදෙස් ලබාදුන්නා.  

    ධීවර, සංචාරක සහ පොහොර බෙදාහැරීම ඇතුළු කෘෂිකාර්මික කටයුතු සඳහා මෙන්ම පොදු ප්‍රවාහන කටයුතු සඳහා පෙර ක්‍රමවේදයට අනුව ලංගම ඩිපෝ මගින් සහ දිවයිනපුරා පිහිටි ත්‍රිවිධ හමුදා කඳවුරු වලදී ඉන්ධන නිකුත් කිරීමට මෙහිදී තීරණය කෙරුණා. ඉන්ධන පෝළිම් වල සිට වාහනවලට ලබාගන්නා ඉන්ධන වැඩි මිලට අලෙවි කිරීමේ ජාවාරම් කෙරෙහි ද සාකච්ඡාවේදී අවධානය යොමු කෙරුණා.

    ඊට අදාළ වැටලීම් පුළුල් කර අදාළ පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොලීසියට උපදෙස් ලබාදුන්නා. හඳුන්වා දුන් QR කේත ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම කෙරෙහි මෙහිදී සාකච්ඡා කෙරුණා. ඉදිරි ඉන්ධන මිලදී ගැනීමේ කටයුතු සහ ඊට අවශ්‍ය මුදල් සපයා ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යාංශයේ හා රාජ්‍ය බැංකු නිලධාරීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

    HE3 900px 22 07 23

    අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්ද අමරවීර, අලි සබ්‍රි, කංචන විජේසේකර, ටිරාන් අලස්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා, ජනාධිපති උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම්, සමන් ඒකනායක යන මහත්වරුන් සහ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු ජනාධිපති කාර්යාලයේ, මුදල් අමාත්‍යාංශයේ සහ රාජ්‍ය බැංකු නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

    Latest News