වාහන අංක අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට

ජූලි 21, 2022

    වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත්කිරීම අද (21) දිනයේ සිට සිදුකරන බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

    වාහනවල ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම 0,1,2 නම් අඟහරුවාදා සහ සෙනසුරාදා යන දිනවල ඉන්ධන නිකුත්කිරීම සිදුකරනු ලබයි.

    අවසාන ඉලක්කම 3,4,5 නම් බ්‍රහස්පතින්දා, ඉරිදා දිනවල ඉන්ධන නිකුත්කරන අතර අවසාන ඉලක්කම 6,7,8,9 නම් සඳුදා, බදාදා සහ සිකුරාදා ඉන්ධන නිකුත්කරන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

    ඒ අනුව යතුරුපැදි සඳහා උපරිම රුපියල් 1,500ක, ත්‍රිරෝද රථ සඳහා උපරිම 2,000ක සහ සෙසු වාහන සඳහා රුපියල් 7,000ක ඉන්ධන ලබාදීමට එහිදි කටයුතු කරනු ඇත.

    මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් ඉන්ධන පිරවුම්හල් කිහිපයක අද සිට නියමු ව්‍යාපෘතියක් ලෙස ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත්කිරීම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

    අද දිනය තුළ ඉන්ධන පිරවුම් හල් 6ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර ඉදිරි දිනවල එය ක්‍රමානුකුලව සෙසු ඉන්ධන පිරවුම් හල්වලද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙම ජාතික ඉන්ධන අවසර පත්‍රයට අනුව ඉන්ධන නිකුත්කිරීමේ වැඩපිළිවෙල ලබන 25 වන දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

    ඊයේ (20) දිනය වන විට ඉන්ධන අවසර පත්‍රය සඳහා ලක්ෂ 30කට අධික පිරිසක් ලියාපදිංචි වී තිබේ.

    Latest News