මීලඟ ජනපති තෝරාගන්නේ කෙසේද ? 

ජූලි 15, 2022

    ධුරයේ සිටින ජනාධිපතිවරයෙකු ඉල්ලා අස්වීමත් සමග නව ජනාධිපතිවරයෙකු පත් කර ගනු ලබන අභිලාෂය පිළිබඳ ක්‍රියාවලිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කොට තිබෙනවා.

    මෙවැනි දේශපාලන අර්බුදයක් උද්ගත වූයේ, ලංකා ඉතිහාසයේ පළමු වරටයි. ඒ නිසාම සාමාන්‍ය ජනතාවට මේ පිළිබඳව ඇත්තේ, අවම අවබෝධයක්. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා ආකාරය පිළිබඳවයි, මේ සටහන.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි ව්‍යවස්ථාවේ පළමු වැනි අනුව්‍යවස්තා ප්‍රකාරව, ජනාධිපති ධුරය හිස් වූ අවස්ථාවක, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි ව්‍යවස්ථාවෙන් දක්වා ඇති පරිදි ධුරය හිස් වූ ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරීමට පාර්ලිමේන්තුව විසින් එහි මන්ත්‍රීවරුන් අතුරින් එක් මන්ත්‍රීවරයෙකු ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගනු ලබනවා. මෙම තෝරා පත් කර ගැනීම 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධි විධාන පනත අනුගමනය කරමින් සිදු කෙරෙනවා.

    මෙම ක්‍රියාවලිය, පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සිදු වන අතර, ඡන්ද විමසීමේදී කථානායකවරයාට ද ඡන්දය ප්‍රකාශය කිරීමේ අවස්ථාව හිමියි. ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ, ජනාධිපතිවරයා ධු‍රයෙන් ඉවත් වී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව රැස් වීමෙන්. පනතේ සඳහන් වන පරිදි, ජනාධිපති ධුරය හිස් වූ දිනට පසු මාසයක් නොඉක්ම විය යුතු පරිදි නව ජනාධිපතිවරයා පත් කර ගත යුතුයි.

    ජනාධිපති ධුරය පුරප්පාඩු වී දින 3 ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවිය යුතු අතර, එම රැස්වීම සඳහා නියමිත දිනය සහ වේලාව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දිය යුතු වනවා. නාම යෝජනා භාර ගැනීම සඳහා නියම කරනු ලැබූ දිනයේදී පාර්ලිමේන්තුව රැස් කළ යුතු අතර, තේරීම් භාර නිලධාරියා වන්නේ, මහ ලේකම්වරයායි. මේ අනුව, ජනාධිපති ධුරය සඳහා තෝරා පත් කර ගැනීමට යම් මන්ත්‍රීවරයෙකුගේ නමක් යෝජනා කිරීමට අපේක්ෂා කරන සෑම මන්ත්‍රීවරයෙකුම, තමා විසින් එසේ යෝජනා කරනු ලබන මන්ත්‍රීවරයා තෝරා පත් කර ගනු ලැබුවහොත්, ජනාධිපති ධුරයෙහි සේවය කිරීමට ඔහු කැමති බවට එකඟත්වයක් කලින් ලබා ගෙන තිබිය යුතුයි.

    එසේම, අපේක්ෂකත්වයට යෝජනා වූ මන්ත්‍රීවරයා එදින පාර්ලිමේන්තුවේ සිටීම අනිවාර්යය වනවා. ජනාධිපති ධුරය සඳහා එක් මන්ත්‍රීවරයෙකු පමණක් යෝජනා කරනු ලැබ ස්ථිර කරන්නේ නම්, පාර්ලිමේන්තුවේ ලේකම්වරයා විසින් එම මන්ත්‍රීවරයා ජනාධිපති ධුරය සඳහා තෝරාපත් කර ගනු ලැබූ බව, ප්‍රකාශයට පත් කළ යුතුයි.

    එක් මන්ත්‍රීවරයෙකුට වඩා වැඩි දෙනෙකු මෙසේ යෝජනා කරනු ලැබ ස්ථිර කරන්නේ නම්, ඡන්ද විමසීමක් සඳහා දිනයක් සහ වේලාවක් පාර්ලිමේන්තුවෙන් නියම කළ යුතු වනවා. එම දිනය නාම යෝජනා පත්‍ර ‍බාර ගැනීමේ වේලාවෙන් පැය 48 කට පසුව වූ දිනයක් නොවිය යුතුයි. ඡන්දය දීම ආරම්භ කිරීමට පෙර, මහ ලේකම්වරයා විසින් හිස් ඡන්ද පෙට්ටි මන්ත්‍රීවරුන්ට පෙන්වා ‍ඒවා මුද්‍රා තැබීම සිදු කරනු ලබනවා.

    තේරීම් බාර නිලධාරීයා ලෙස මහ ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු එක් එක් මන්ත්‍රීවරුන්ගේ නම ප්‍රකාශ කරමින් කැඳවන අවස්ථාවේ ඡන්ද ප්‍රකාශය කිරීම සිදු කළ යුතුයි. යම් මන්ත්‍රීවරයෙකු ඡන්ද පත්‍රිකාවක් නරක් කරන ලද්දේ නම්, තේරීම් බාර නිලධාරියා සෑහීමකට පත් වන්නේ නම්, වෙනත් ඡන්ද පත්‍රිකාවක් ඔහුට ලබා දිය හැකියි. තවද, එම නරක් වූ ඡන්දය, තේරීම් බාර නිලධාරියා නොපමාව අවලංගු කළ යුතු ද වනවා.

    යම් මන්ත්‍රීවරයෙකුගේ නම දෙවරක් අඬගසා ඔහු ඡන්දය නොදෙන්නේ නම්, එය, ප්‍රතික්ෂේපිත ඡන්දයක් ලෙස සලකනු ලබනවා. මන්ත්‍රීවරයෙකුට එක් ඡන්දයක් හිමි වන අතර, ඡන්දය දෙන අපේක්ෂකයාගේ නම ඉදිරියෙන් ඇති කොටුවෙහි “එක” යන ඉලක්කම යෙදීම මගින් ඡන්දය සලකුණු කිරීම සිදු කළ යුතුයි. මෙහිදී, අපේක්ෂකයින් කිහිපදෙනෙක් යෝජනා වී ඇති අවස්ථාවක, මනාප සලකුණු කිරීමට ද මන්ත්‍රීවරුන්ට අවස්ථාව හිමි වනවා.

    ඒ අනුව, ඉදිරි පත් වී ඇති අපේක්ෂකයන් ගණන අනුව, අපේක්ෂකයාගේ නම ඉදිරියේ ඇති කොටුවල “දෙක”, “තුන” ආදී ලෙස මනාපයන් අනුපිළිවෙළින් යෙදිය යුතුයි. ඉන් අනතුරුව, ඡන්දය ගණන් කිරීම මහ ලේකම්වරයා විසින් ආරම්භ කරනු ලබනවා. එම අවස්ථාවට යම් අපේක්ෂකයෙකුට පැමිණීමට කැමති නම්, ඒ සඳහා අවස්ථාව ලබාදීම තේරීම් බාර නිලධාරියාගේ වගකීමක්. නැතහොත් ඔහු නියෝජනය කරමින් වෙනත් මන්ත්‍රීවරයෙකුට ද එම අවස්ථාවට සම්බන්ධ විය හැකියි.

    දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් යම් අපේක්ෂකයෙකු ලබා ගන්නේ නම්, එම අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරා පත් කර ගත් බව, තේරීම් භාර නිලධාරීයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු වනවා. එසේම, වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිදු අපේක්ෂකයෙකුට ලැබී නොමැති අවස්ථාවල සටහන් කර ඇති දෙවැනි සහ තෙවැනි ආදී මනාප පරික්ෂා කිරීම සිදු වනවා.

    මෙහිදී, අවම මනාප ලබා ගත් අපේක්ෂකයන් ඉවත් කරමින් ඔවුන්ට දෙන ලද දෙවැනි මනාපය ගණන් කිරීම සිදු වනු ඇති. එම අවස්ථාවේදී වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් කිසිදු අපේක්ෂකයෙකු ලබා ගෙන නොමැති අවස්ථාවකදී එකී ගණන් කිරීමේදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගෙන ඇති අපේක්ෂකයා ජනාධිපති ධුරයට තෝරාපත් කර ගත් බව, තේරීම් බාර නිලධාරීයා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ යුතු වනවා. එසේම, අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ කිහිපදෙනෙකු අතර ඡන්ද සමාන වූ විට කුසපත් ඇදීමක් මගින් ජනාධිපති ධුරය ලබා දෙන බව, ප‍නතේ සඳහන්.

    Latest News