SSP කීර්තිරත්නගේ ඇප ඉල්ලීමට නීතිපතිගේ විරුද්ධත්වය

ජූනි 27, 2022

    රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් විරුද්ධ වන බව නීතිපතිවරයා අභියාචනාධිකරණට දැනුම් දුන්නේය.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා කෑගල්ල හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරීන් සිව් දෙනා ඉදිරිපත් කළ රිට් පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙම දැනුම්දීම සිදුකළේය. 

    මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. 

    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයින් ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධත්වයක් නොදක්වන්නේ නම් තමන්ට මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බව සඳහන් කළේය.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට දන්වා සිටියේ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 29 වැනිදා කැඳවන ලෙස නියෝග කළ අභියාචනාධිකරණය එදින අතුරු ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බලන බවත් නිවේදනය කළේය. 

    Latest News