රට තුළ දේශපාලන ස්ථාවරත්වය ඇති නොකළහොත් තමා අස්වෙනවා; මහ බැංකු අධිපති...(වීඩියෝ)

මැයි 11, 2022
  • රට තුළ දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීමට දේශපාලන පක්‍ෂ මෙන්ම, සෙසු පාර්ශ්ව ද ක්‍රියා නොකරන්නේ නම්, තමා තවදුරටත් මහ බැංකු අධිපති පදවිය දැරීම පලක් නොවන බව, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරනවා.

    වත්මන් අස්ථාවරභාවය පවතින්නේ නම්, තවත් දෙසතියක් තුළ පැය 12ක පමණ විදුලි කප්පාදුවක් ඇතුළු බරපතල හිඟතාවන්ට මුහුණදීමට ජනතාවට සිදුවිය හැකි යැයි මහ බැංකු අධිපතිවරයා අනතුරු අඟවනවා. රටේ වත්මන් තත්වය හා ආර්ථිකයේ ස්වභාවය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. එහිදී ඔහු සඳහන් කළේ, පසුගිය සඳුදා ඇති වූ සිදුවීම් මාලාව තුළින් හටගත් අස්ථාවරත්වය රට ඉතා අසීරු අඩියකට ඇඳ දමමින් තිබෙන බවයි.

    තමා මහ බැංකු අධිපති පදවියට පත්වීමෙන් පසු සාධනීය ක්‍රියාමාර්ග රැසක් අනුගමනය කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමට වැඩපිළිවෙළක් ආරම්භ කළ බව, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියා. ඉකුත් සතියේ සියලුම බැංකු නියෝජිතයන් සමඟ සාකච්ජා පවත්වමින් විනිමය අනුපාත ප්‍රායෝගික මට්ටමක පවත්වා ගැනීම හා අපනයනකරුවන් උපයන ඩොලර් මෙරට බැංකු පද්ධතිය තුළ පවත්වා ගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳව එකඟතාවකට පැමිණි බවයි, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ. අනවශ්‍ය වියදම් අඩුකොට තමන් සතු මුදල් අත්‍යවශ්‍ය කරුණු සඳහා පමණක් වියදම් කරන ලෙස මහ බැංකු අධිපතිවරයා පොදු ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

    Latest News