2022 සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත්

අප්‍රේ 13, 2022
  • මේ අවුරුද්දේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ නැකැත් චාරිත්‍ර අද (13) සිට ආරම්භ වේ.

    ඒ, පරණ අවුරුද්ද සඳහා ස්නානය අද(13) දිනයේ යෙදී ඇති අතර කොහොඹ පත් මිශ්‍ර යුෂ නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා සිහි කිරීම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

    පුණ්‍ය කාලය 14වන බ්‍රහස්පතින්දා පූර්වභාග (පෙ.ව.) 02.17යි තත්පර 17 සිට අපරභාග (ප.ව.) 03.05යි තත්පර 17 දක්වා යෙදී ඇති බව නැකැත් සීට්ටුවේ සඳහන් වේ. එම පුණ්‍ය කාලය තුළ ආහාර පිසීම සහ වැඩ ඇල්ලීම පහත ආකාරයට කිරීම සුදුසු වේ.

    ආහාර පිසීමේ නැකත 14 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.05ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සිදුකිරීම සුදුසුයි.

    වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය එදින (14) පූර්වභාග 10.17 ට රන්වන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සිදුකිරීම සුදුසුයි.

    හිසතෙල් ගෑමේ චාරිත්‍රය අප්‍රේල් මස 17 වන ඉරිදා පූර්වභාග 07.04ට යෙදී ඇති අතර ඒ සඳහා රතු සහ කහ මිශ්‍ර (තඹ පැහැති) වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිසාව බලා හිසට ඉඹුල්පත් ද පයට නුගපත් ද තබා ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය සුදුසුයි.

    රැකීරක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අප්‍රේල් මස 18 වන සඳුදා පූර්ව භාග 06.51 ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ග අනුභව කර දකුණු දිශාව බලා පිටත් වීම සුදුසුයි.

    පැළ සිටුවීමේ නැකත අප්‍රේල් මස 18 වන සඳුදා පූර්ව භාග 11.16ට ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදු කිරීම සුදුසුවේ.

    එමෙන්ම නව සඳ බැලීමේ චාරිත්‍රය අප්‍රේල් මස 3 වන ඉරු දිනට යෙදී තිබු අතර සූර්ය වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය මැයි මස 5 වන බ්‍රහස්පතින්දා දිනට යෙදී තිබේ.

    Latest News