2023 අවසානය වන විට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය මෙගාවොට් 2,000ක්

අප්‍රේ 01, 2022

    පුනර්ජනනීය බලශක්තිය මඟින් උපදවන මෙගාවොට් 2,000ක විදුලි බලයක් 2023 දෙසැම්බර් මාසය වන විට ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇතැයි සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව පැවසුවේ ඊයේ (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

    ඛනිජ තෙල් හා ඩොලර් මත විදුලි බල පද්ධතියේ රඳා පැවැත්ම තීරණය කිරීමේ ක්‍රමවේදය වෙනුවට විදුලි බල පද්ධතිය දේශීය වශයෙන් නඟා සිටුවීම සඳහා දේශීය ක්‍රමවේදයක් සැකසීම මෙහි අරමුණ වී ඇත.

    2030 වන විට මෙරටට අවශ්‍ය විදුලි බලයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තිය මඟින් උත්පාදනය කිරීමේ අදහසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනටමත් තීරණ රැසක් ගෙන තිබේ.

    ඊට අමතරව අප්‍රියෙල් මාසයේ සිට අඩු ආදායම්ලාභීන්ගේ නිවෙස්වල වහල මත සූර්ය පැනල සවි කර මෙගාවොට් 500ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීමේ සැලසුමක් ද ඇතැයි ප්‍රකාශ කළ අමාත්‍යවරයා එමඟින් වසර 15ක් යන තෙක් එම නිවෙස් හිමියන්ට රුපියල් 2,500ක ආදායමකුත් ඉන් පසුව එළැඹෙන වසර හතක කාලය තුල රුපියල් 7,000ක ආදායමකුත් දෙන බව ද ප්‍රකාශ කළේය.

    මේ සඳහා විදුලි බල අමාත්‍යාංශය, විදුලි බල මණඩලය හා විදෙස් ආයෝජකයන් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත.

    විදුලි බලය ආශ්‍රිත නව ව්‍යාපාර අවස්ථා කෙරෙහි ද අමාත්‍යාංශයේ අවධානය යොමු කර ඇතැයි කී ඇමැතිවරයා පෙන්වා දුන්නේ මෙරට මුහුදේ ඉදි කරන විදුලි බලාගාර මඟින් උපදවන විදුලිය විදේශ රටවලට ආනයනය කිරීමේ අවස්ථාව සමහර ආයෝජකයන් විසින් ඉල්ලා ඇතැයි ප්‍රකාශ කළේය.

    Latest News