සඳලංකාව ප්‍රදේශයේ පස් හා බොරළු කැපීමට එරෙහිව නියෝගයක්

මාර් 24, 2022

    සඳලංකාව ප්‍රදේශයේ බොරලු සහ පස් කැපීම සම්බන්ධයෙන් කිසිදු නීතිවිරෝධී කටයුත්තක් සිදු කිරීමට ඉඩ නොතබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා ඇතුළු රජයේ ආයතන කිහිපයකට නියෝග කළා.



    මෙම නියෝගය උල්ලංඝනය කරමින් එවැනි නීති විරෝධී කටයුත්තක් සිදු වුවහොත් මෙම වග උත්තර කරුවන් අධිකරණයට අපහාස කළා සේ සලකා ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට සිදූවන බවද අධිකරණය ප්‍රකාශ කළා.

    සඳලංකාව ප්‍රදේශයේ සිදු කරන බව කියන මහාපරිමාණ පස් සහ බොරලු කැණීම් හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට චෝදනා කරමින් එහි ප්‍රදේශවාසීන් දෙදෙනකු ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා, පන්නල පොලිසියේ ස්ථානාධිපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය සහ භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශය වෙත මෙම නියෝග නිකුත් කළා.

    විජිත් මලල්ගොඩ, මහින්ද සමයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය කළා.

    අනතුරුව පෙත්සම් විභාගය අගෝස්තු මස 30 වැනිදා කැඳවීම ට ද නියම කෙරුණා.

    මෙහි වග උත්තරකරුවන් ලෙස භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය, එහි අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පති, නීතිපති ඇතුළු 13 දෙනෙකු නම් කර තිබෙනවා.

    සඳලංකාව ප්‍රදේශයේ පස් සහ බොරලු කැපීමට අවසර දෙමින් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය බලපත්‍ර නිකුත් කර ඇති බවත් එම කටයුතු නිසා විශාල පරිසර හානියක් සිදු වන බවත් මෙම පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස මා ඔයට ද දැඩි හානියක් සිදුවන බවත් ඒ හරහා තමා ඇතුළු ප්‍රදේශයේ ගොවීන්ට සිය වගා කටයුතු කරගෙන යාමේ බාධාවක් මතු වී තිබෙන බවත් පෙත්සම්කරු චෝදනා කළා.

    මෙම කටයුතු හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් සඳලංකාව ප්‍රදේශයේ පස් බොරලු කැපීම සදහා නිකුත් කර ඇති බලපත්‍ර අහෝසි කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

    Latest News