බුද්ධිමය දේපළ පනත දෙවැනිවර කියවීම අද පාර්ලිමේන්තුවට

මාර් 08, 2022

    සිලෝන් ටී (Ceylon Tea), සිලෝන් සිනමන් (Ceylon Cinnamon) යනාදී මෙරටට භූගෝලීය පරිසරයට ආවේණික වටිනාකමකින් යුතුව සිදුකරන නිෂ්පාදනවල ව්‍යාජ අනුකරණයන් නැවැත්වීමේ අරමුණින්, බුද්ධිමය දේපළ (සංශෝධන) පනත දෙවැනිවර කියවීම සදහා අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වෙළද අමාත්‍ය (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    පසුගියදා පැවති වෙළද කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ මුලසුන දරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් දැක්වූ භූගෝලීය දර්ශක ලෙස මෙම නිෂ්පාදන එනයින්ම ලියාපදිංචි කිරීමට නිශ්චිත ක්‍රමවේදයක් බුද්ධිමය දේපළ පනතෙහි ඇතුළත්ව නොතිබූ බැවින් ඒවා මෙතෙක් ලියාපදිංචිය සිදුවූයේ වෙළද ලකුණු විෂය යටතේ සහතික ලකුණු (Certificate marks) ලෙසයි.

    මේ අනුව එවැනි භාණ්ඩ ඉදිරියේදී ශ්‍රී ලාංකික භූගෝලීය දර්ශක ලෙස ලියාපදිංචි කිරීමට හැකියාවක් ලැබෙන බවද එමගින් මෙම නාමයන් යටතේ ව්‍යාජ අනුකරණ නැවැත්වීමට නීතිමය රාමුවක් ස්ථාපනය වන බවද මෙම අවස්ථාවට එක්වෙමින් ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී ආර් රණවක මහත්මිය පැවසුවාය.

    Latest News