'ඔබ “ඇය”ට හිමි අභිමානය පුද දෙන්න දෙවරක් නොසිතන්න' - අගමැති

මාර් 08, 2022

    සියලු කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබමින් සමාජය තුළ අභිමානවත්ව නැගී සිටීමට ශක්තිය ධෛර්ය උදා වේවා යැයි, ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    මවක, දියණියක, සොහොයුරියක මෙන්ම මිත්තණියක ලෙස මුළු මහත් සමාජයට මග පෙන්වන ධෛර්ය සම්පන්න කාන්තාවන්ගේ කැපවීම සිහිපත් කෙරෙන ජාත්‍යන්තර කාන්තා දින ජාතික සැමරුමට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටින් බව අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

    එම නිවේදනයේ මෙසේද සඳහන්...

    “තිරසර සමාජයක් වෙනුවෙන් සිය ජීවිත කාලය පුරා දයාව කරුණාව හා පෞරුෂත්වය බෙදාදෙන කාන්තාවගේ අභිමානය එක් දිනකට සීමා කළ නොහැකිය. ඔවුන් ඉටු කරන අනභිභවනීය මෙහෙවර මෙතෙකැයි කියා නිම කළ නොහැකි බව මාගේ විශ්වාසයයි.

    මානව වංශය වෙනස් කළ සියලු ශාස්තෘවරුන් බිහිකිරීමේ පටන් මානව පැවැත්ම සාක්ෂාත් වන සියලු දෑ සඳහා කාන්තාව මුල් වූ බව නොරහසකි. ලොව නිර්මාණය වී ඇත්තේ හිරු කිරණින් හා මව් කිරෙන් බව ප්‍රකට රුසියානු ගත්කතුවර මැක්සිම් ගෝර්කි පෙන්වා දෙන්නේ මේ නිසාය. වීර කාන්තා පරපුරක ඉතිහාසය අනුව යමින් ශ්‍රී ලාංකික කාන්තාව අද වන විට සමාජයීය වගකීම් දරමින් නොපසුබටව ඉදිරියට පැමිණෙමින් සිටී.

     

    කොවිඩ් වසංගත තත්ත්වය සමඟ පැමිණි විවිධ දුෂ්කරතා හමුවේ දුර දක්නා නුවණින්, අරපිරිමැස්මෙන් සහ ඉවසීමෙන් කටයුතු කරන මෙරට සියලු කාන්තාවන් රට හමුවේ පවතින අභියෝග ජය ගැනීම සඳහා දක්වන විශිෂ්ට දායකත්වය මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය.

    ඔබ “ඇය”ට හිමි අභිමානය පුද දෙන්න දෙවරක් නොසිතන්න. සියලු කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබමින් සමාජය තුළ අභිමානවත්ව නැගී සිටීමට ශක්තිය ධෛර්ය උදා වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.”

    Latest News