අපේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ පොළොන්නරුවට පමණක් නොවෙයි මුළු රටේම ගෞරවාදරයට පත් වූ මහාථෙර නමක් - අගමැති

මාර් 05, 2022

    අපේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ පොළොන්නරුවට  පමණක් නොවෙයි මුළු රටේම  ගෞරවාදරයට පත් වූ මහාථෙර නමක් යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

    පොළොන්නරුව ඓතිහාසික ඉසිපතනාරාම රජමහ විහාරාධිපති, උතුර, උතුරු මැද, නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක, අතිගෞරවාර්හ උඩගම ශ්‍රී ධම්මානන්ද ස්වාමීන්වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවය ඊයේ (04) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති අවස්ථාවේ අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහි දී උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රය හා විශේෂ තිළිණයක් අතිගෞරවාර්හ උඩගම ශ්‍රී ධම්මානන්ද අනු නායක ස්වාමීන්වහන්සේට පිළිගැන්නුවේය.

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අනුනායක ස්වාමීන්වහන්සේට විජිනිපත පිරිනැමූ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පිරිස අටපිරිකර පුජා කළහ.

    උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහානායක, ජපානයේ ප්‍රධාන සංඝනායක,ශාස්ත්‍රපති අතිපූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර වැඩබලන මහනායක ස්වාමීන්වහන්සේ,  ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්ගමහා පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය මකුලෑවේ විමල මහා නායක ස්වාමීන්වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක මහෝපාධ්‍ය අතිපූජ්‍ය දිඹුල් කුඹුරේ විමලධම්ම අනු නායක ස්වාමීන්වහන්සේ, මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ඇත්කඳ රජමහා විහාරාධිපති අතිපූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමීන්වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කර සිටියහ.

    අතිපූජ්‍ය උඩගම ශ්‍රී ධම්මානන්ද නායක ස්වාමීන්වහන්සේට උඩරට අමරපුර මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමේ සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය..

    පොළොන්නරුව ඵෙතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරාධිපති, පිරිවෙන් අධ්‍යක්ෂ, අතිපූජ්‍ය උඩගම ධම්මානන්ද නායක හාමුදුරුවෝ අප දීර්ඝ කාලයක සිටම ඇසුරු කරන හිතවත් හිමිනමක්.උන්වහන්සේ මේ පදවියට පත් වූ බව දැනගත්තාම මට ඇතිවුනේ පුදුම සතුටක්.

    නායක හාමුදුරුවන්ගේ ශාසනික ජීවිතයට අවුරුදු 66 ක් වෙනවා. ඒක දීර්ඝ කාලයක්, මෙතරම් කාලයක් රටට ජාතියට විශේෂයෙන්ම සම්බුදු සසුනට  සේවාවක් කිරීමට ලැබීම ඉතාම වාසනාවක් ලෙසයි මා දකින්නේ.

    භික්ෂූන්වහන්සේ නමකට අවශ්‍ය පාලි භාෂාව ඇතුලු ත්‍රිපිටක ධර්මය උන්වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනින් ඉගෙනගෙන 1964 දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙලා ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්තා.

    එහිදී අපේ නායක හාමුදුරුවො අපවත් වී වදාළ බෙල්ලන්විල විමලරතන නායක ස්වාමීන්වහන්සේගේත්, මාදුළුවාවේ සෝභිත නායක ස්වාමීන්වහන්සේගේත් සමකාලීනයෙක් වුණ බව අපි දන්නවා.

    උසස් අධ්‍යාපනය අවසන් කරලා පොළොන්නරුවට වැඩම කරලා, උන්වහන්සේ තම පන්සලේ දහම් පාසලක් ආරම්භ කරලා බලාපොරොත්තු වුනේ සමාජයට පිවිසෙන දූ දරුවන්ට සාරධර්ම අධ්‍යාපනය කියා දෙන්න.

    එතනින් නොනැවතුනු අපේ හාමුදුරුවෝ, සිරි විජයබා නමින් පිරිවෙනකුත් ආරම්භ කළා.ඒ ඉටුකළ සාරධර්ම අධ්‍යාපනය නිසාම පොළොන්නරුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරි ධුරයට පත්වන්නත් පුළුවන් වුණා.  

    අපේ නායක හාමුදුරුවෝ රජයේ විද්‍යාල කිහිපයක සේවය කළ දක්ෂ ගුරුවරයෙක්, වගේම විදුහල්පතිවරයෙක්.උන්වහන්සේ ඉටුකරන ශාසනික සේවය නිසාම උඩරට අමරපුර මහානිකාය මඟින් උතුර, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල ප්‍රධාන  සංඝනායක ධුරය පිරිනමනවා. 

    අපේ ධම්මානන්ද නායක හාමුදුරුවෝ පොළොන්නරුවට  පමණක් නොවෙයි මුළු රටේම  ගෞරවාදරයට පත් වූ මහාථෙර නමක් බවට පත්වූනේ උන්වහන්සේ තුළ තිබු දක්ෂතාවයත්, ප්‍රියශීලි බවත්, හැකියාවත් නිසාමයි.

    ඉන්දියාව, සිංගප්පූරුව, බුරුමය, තායිලන්තය වගේ රටවල් වල ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සහභාගි වෙලා එයින් ලබාගත් අත්දැකීම් උන්වහන්සේගේ ගමන් මගට මහත් ශක්තියක් වූ බව මා විශ්වාස කරනවා.

    භික්ෂූන්වහන්සේ නමකට උරුම වූ වත්පිළිවෙත් ඉටු කරන නායක හාමුදුරුවො තම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත් එය මැනවින් පුරුදු කරන බව අපි දන්නවා.

    පොළොන්නරුව, අතීතයේ සිටම අපට වැදගත් වුන ස්ථානයක්. අතීත රජවරු මුළු පොළොන්නරුවම සංවර්ධනය කළා පමණක් නොවෙයි වාරි කර්මාන්තයත් දියුණු කළා. වෙහෙර විහාරත් ඉදි කළා. පොළොන්නරුවේ ඇති නටඹුන් ඊට සාක්ෂි දරනවා.

    එබඳු වටිනා  ප්‍රදේශයක සිට අපේ නායක හාමුදුරුවන් ආගමික හා සංස්කෘතික වශයෙන් පමණක් නොවෙයි ජාතික වශයෙන් ද සපයන නායකත්වය ඉතා විශාලයි.උන්වහන්සේගේ විහාරස්ථානයට මට කිහිප වරක්ම යාමට පුළුවන් කම ලැබුණා.උන් වහන්සේ හමු වූ අවස්ථාවලදී රටේත් ශාසනයේත් දියුණුව ඇති කිරීම සඳහා වූ දේවල් තමයි වැඩිපුරම කථා කළේ.

    උන්වහන්සේ කොතරම් කාරුණික ද සුහදශීලි ද යන්න වටහා ගැනීමටත් එම අවස්ථාවලදී පුළුවන් කම ලැබුණා.

    විශේෂයෙන් උඩරට අමරපුර නිකායේ අනුනායක ධුරය පිරිනැමීමට උන්වහන්සේව තෝරාගැනීම හරිම වැදගත් කාලෝචිත ක්‍රියාවක් හැටියට සඳහන් කරන්න ඕනෙ.නායක හාමුදුරුවන්ට එම අනුනායක ධුරය තුළින් තවත් විශාල සේවාවක් කිරීමට හැකි වෙන බව මා තරයේ විශ්වාස කරනවා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බුද්ධ ශාසනයේ සංවර්ධනය සඳහා කටයුතු කිරීමට කැමති නායකයෙක්. ඒ නිසාම වෙහෙර විහාර සංරක්ෂණය හා ඒවා නැවත ගොඩනැගීමට විශාල කාර්යයන් රැසක් ඉටු කරමින් සිටිනවා.

    ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශ හා අවවාද අනුශාසනා අපේ අභිනව අනුනායක හාමුදුරුවන්ගෙන් ලැබෙන බව අපට විශ්වාසයි.තවදුරටත් ශාසනික සේවා ඉතා හොඳින් ඉටු කිරීමට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, නිදුක් නිරෝගි භාවයත්, දීර්ඝායුෂත් උන්වහන්සේට ලැබේවා’ යි මම මෙත් සිතින්  ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි!යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, කථානායක මහින්ද යාපා අබේවර්ධන,තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත්,පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරළ,රෝහණ කුමාර දිසානායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News