ගුවන් හමුදාව - මව්බිමේ ස්වෛරිත්වය රකිමින් විශිෂ්ඨ සේවයක

මාර් 02, 2019

    වසර 68ක කාල පරාසයක් මව්බිමේ ස්වෛරිත්වය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරිමට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව ඉටු කළා වූ සේවය අනුපමේය බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද (02) පෙරවරුවේ හිඟරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ උත්කර්ෂවත් අන්දමින් පැවති ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

    සුවිශේෂී ප‍්‍රදර්ශනයක් සහ සැණකෙළියක් ද සහිතව සැමරුම් උලෙළ පැවැත්වේ. ගුවන් හමුදා අංක 07 හෙලිකොප්ටර් බලඝනය සහ අංක 08 සැහැල්ලූ ප‍්‍රවාහන බලඝනය ඔවුන් විසින් ජාතියට සිදුකළ විශිෂ්ට සේවාව අගයමින් ජනාධිපති වර්ණයෙන් පිදුම් ලැබීය.

    වෘත්තීය නිපුනත්වය, තාක්ෂණික දැනුම, විනයගරුක බව, කැපවීම ආදී ගුණාංග හේතුවෙන් ලොව දියුණු ගුවන් හමුදාවන් සමග උරෙන් උර ගැටී කටයුතු කිරීමේ හැකියාව හා තාක්ෂණික දියුණුව ගුවන් හමුදාව සතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය. රට වෙනුවෙන් ජීවිත පුදකළ සහ ආබාධිත වූ රණ විරුවන්ටත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් සිය කෘතවේදීත්වය කළේය.

    අද පෙරවරුවේ හිඟගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙත ගිය ජනාධිපතිතුමා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා පිළිගැනීමට විශේෂ ආචාර පෙළපාළියක් ද පැවැත්විණි. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ 68 වන සංවත්සරයට සමගාමීව සංවිධානය කෙරුණු Air Tattoo - 2019 ගුවන් හමුදා ප‍්‍රදර්ශනය සහ සැණකෙළිය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර ගුවන් මගින් බීජ රෝපණය කිරීම පිළිබඳ සකසා තිබූ ප‍්‍රදර්ශන කුටිය එහිදී ජනාධිපතිතුමාගේ විශේෂ නිරික්ෂණයට ලක් විය. එමෙන්ම ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයට අයත් ප‍්‍රදර්ශන කුටිය වෙත ගිය ජනාධිපතිතුමා වෙත එම පුහුණු කටයුතු පිළිබඳ සම්පාදනය කෙරුණු ග‍්‍රන්ථයක් ද පිළිගැන්විණි. එහිදී නව වෙබ් අඩවියක් ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

    හෙට සිට 06 වනදා දක්වා හිඟගුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේ දී පැවැත්වෙන මෙම ප‍්‍රදර්ශනයේ දී ගුවන් හමුදාවේ කාර්යභාරය සහ ගුවන් හමුදාව සතු සම්පත් ප‍්‍රදර්ශනය කෙරේ. මහජනතාව වෙනුවෙන් හදිසි ආපදා තත්ත්වයන්හි දී හා ස්වභාවික ව්‍යසනයන්හි දී ගුවන් හමුදාව ක්‍රියා කරන ආකාරය නිදර්ශනාත්මකව ඉදිරිපත් කිරීම සිදුවේ. ගුවන්යානා සංදර්ශන හා ගුවන් කරනම්, පැරෂුට් සංදර්ශන, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකාය විසින් ඉදිරිපත් කරනු ලබන ගොඩබිම් සටන් සංදර්ශන, ගුවන් සුනඛ සන්දර්ශන, තූර්ය වාදන හා සරඹ සන්දර්ශන සංස්කෘතික හා සංගීතමය වැඩසටහන් රැසකින් එය සමන්විතයි.

    සෑම දිනකම ප.ව 2.00 ට ආරම්භ වන සැණකෙළිය මධ්‍යම රාත්‍රීය දක්වා පැවැත්වෙයි. මෙය මහජනතාවට සම්පූර්ණයෙන් විවෘත අතර, ඇතුළුවීම සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තම 68 වන අභිමානවත් සංවත්සරය අනුස්මරණය කරමින් සිය කුසලතාවයන් උතුරු මැද පළාතේ ජනතාව වෙත සමීප කරවන අවස්ථාවේ එය දැක බලා ගැනීමට පැමිණෙන ලෙස සියලූ ජනතාව වෙත ආරාධනා කෙරෙයි.

    ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක යන මහත්වරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 02 මාර්තු 2019 15:55

    Latest News