ජයශ්‍රීට එරෙහි වාරණ නියෝගය ඉවත් කෙරේ

පෙබ 23, 2022

    ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත නිකුත් කර තිබූ වාරණ නියෝගය ඉවත් කිරීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියෝග කළා.

    අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලූ මහාධිකරණය විසින් ඉකුත් දා අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන දෙදෙනාට එරෙහිව මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණා.

    එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් එබැවින් එය ඉවත් කරන ලෙසත් අදාල පැමිණිල්ලේ වගඋත්තර කරුවන් දෙදෙනා විසින් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණා.

    එම ඉල්ලීම්වලට අදාල නියෝගය ප්‍රකාශයට පත් කරමින් වාණිජ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් අදාළ වාරණ නියෝගය ඉවත් කිරීමට නියෝග කළා.

    අනතුරුව නඩුව මැයි මස 27 වනදා කැඳවීමට ද නියම වුණා.

    පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව "ජය ශ්‍රී" යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.

    වගඋත්තරකරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළා.

    එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ වගඋත්තරකරුවන් මෙම ගීතවලට තමන් ද දායකත්වය සපයා තිබෙන හෙයින් ඒවායේ අයිතිය තමන් සතු බව කියා සිටිති. එබැවින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ඔවුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

    Latest News