'ජය ශ්‍රී' වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ජන 27, 2022

    ජය ශ්‍රී සංගීත කණ්ඩායම විසින් ගායනා කරන "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම්වල අඩංගු ගීත විස්සක් ගායනා කිරීම, ප්‍රචාරය කිරීම, අන්තර්ජාලයට මුදාහැරීම වළක්වාලමින් කොළඹ වාණිජ මහාධිකරණය විසින් එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු වෙත කර තිබෙන වාරණ නියෝගය ලබන 23 වැනිදා දක්වා දීර්ඝ කරන ලෙස අද නියෝග කළේය. 

    අදාල සංගීත කණ්ඩායමේ සාමාජිකයෙකු වන අරුණ ලියනගේ මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අද යළි සලකා බැලීමෙන් පසුව අදාළ සංගීත කණ්ඩායමේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන සාමාජිකයින් දෙදෙනාට එරෙහිව පණවා තිබෙන වාරණ නියෝගය මෙසේ දීර්ඝ කෙරිණි.

    දැනට නිකුත් කර තිබෙන වාරණ නියෝගය ස්ථිර අතුරු තහනම් නියෝගයක් බවට පරිවර්තනය කරන්නේ ද? නැද්ද? යන තීන්දුව ලබන 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.

    අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර තිබියදී ඉකුත් 31 වැනිදා රූපවාහිනි නාලිකාවක් ඔස්සේ අදාල ගීත යළි ගායනා කිරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කර මෙම නඩුවේ වග උත්තරකාර රෝහිත ජයලත් සහ රෝහණ ජයලත් යන අයට එරෙහිව ගොනුකර තිබූ චෝදනා පත්‍ර අද විවෘත අධිකරණයේදී කියවා දෙනු ලැබීය. 

    එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව වගඋත්තරකරුවන් ප්‍රකාශ කළේය. අනතුරුව නඩුව යළි ලබන 23 වැනිදා කැඳවීමට නියම විය.

    පෙත්සම්කරු කියා සිටින්නේ තමා සහ මෙම නඩුවේ වගඋත්තරකරුවන් දෙදෙනා එක්ව "ජය ශ්‍රී" යනුවෙන් සංගීත කණ්ඩායමක් පිහිට වූ බවයි.

    වගඋත්තර කරුවන් දෙදෙනා මේ වන විට සංගීත කණ්ඩායමෙන් ඉවත්ව සිටින අතර ඔවුන් තමන්ගේ අනුමැතියකින් තොරව එම සංගීත කණ්ඩායම විසින් සම්පාදනය කළ "මොඩ් ගොවියා" සහ "සුන්දරියේ" යන ගීත ඇල්බම් වල අඩංගු ගීත ගායනා කරන බවත් එය බුද්ධිමය දේපළ පනතට පටහැනි බවත් පැමිණිලිකරු අධිකරණය හමුවේ සඳහන් කළේය.

    එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ වගඋත්තරකරුවන් මෙම ගීතවලට තමන් ද දායකත්වය සපයා තිබෙන හෙයින් ඒවායේ අයිතිය තමන් සතු බව කියා සිටියි. එබැවින් මෙම වාරණ නියෝගය ලබාගෙන තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් ඔවුන් සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම් දී තිබේ.

    Latest News