ශ්‍රී ලංකා යුධ හමුදාවේ අලුත්ම මෙහෙයුම (වීඩියෝ)

පෙබ 22, 2022
  • ශ්‍රී ලංකා යුද හමුදා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සන්නද්ධ හා සංග්‍රාමික අණදීමේ රථ පෙළක් මෙරටදීම නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන තිබෙනවා. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ, අනෙකුත් හමුදා රථවාහන එම රෙජිමේන්තුව මගින්ම අලුත්වැඩියා කිරීමට අතිරේකවයි.

    යුද හමුදාව සඳහා අවශ්‍ය රථවාහන යුද හමුදාව තුළින්ම නිර්මාණය කරගැනීම වත්මන් යුද හමුදාපතිවරයාගේ සංකල්පයක්. ශ්‍රී ලංකාවේ භූමියට ගැලපෙන පරිදි සංග්‍රාමික රථ සැලසුම් කිරීමට හා නිෂ්පාදනයට ඇති හැකියාව ප්‍රදර්ශනය කර ඇති යුද හමුදාව වෙනත් රටවල සාමසාධක මෙහෙයුම් සඳහා එක්ව සිටින ශ්‍රී ලංකා භට පිරිස්වලට හා එරට භූ විෂමතාවන්ට ගැලපෙන ලෙසත්, සංග්‍රාමික රථ නිෂ්පාදනය කිරීමට දැන් සමත්ව සිටිනවා.

    යුද හමුදාවටම අනන්‍ය වූ වාහන සන්නාමයක් හා සංචිතයක් පවත්වා ගැනීම මේ ව්‍යාපෘතියේ තවත් අරමුණක්. මානුෂීය ක්‍රියාන්විතය පැවති සමයේ ආනයනය කර දැනට භාවිතයෙන් ඉවත්කර ඇති සහ අත්‍යවශ්‍ය නොවන මෙවැනි යුනිකෝන් රථ හා වෙනත් යුද හමුදා රථ වාහනවල චැසි, නව සංග්‍රාමික රථ සැකසීමට සහ නිෂ්පාදනයට යොදා ගැනෙනවා.

    ඒ අනුව, නිෂ්පාදිත සෑම රථයක්ම යුනි සහ සන්නාමයෙන් හැඳින්වීමටයි, යුද හමුදාව පියවර ගෙන ඇත්තේ. බොහෝ දෙනෙකුට හුරුපුරුදු යුනිබෆල් රථය නිපදවනු ලබන්නේ, දැනට වසර ගණනාවකට පෙර සිටයි. Uni Aimov, Unicob සහ Uni Avalon සන්නද්ධ රථ නිපදවීම ශ්‍රී ලංකා විදුලි සහ යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ උඩවලව හා කටුබැද්ද පිහිටි මුලික වැඩපොළ තුළ සිදු කෙරෙනවා. ඒ අතරින් මෙවර 74 වැනි නිදහස් දින උළෙලේදී බොහෝ දෙනෙකුගේ ඇස යොමු කරවා ගැනීමට මේ සන්නද්ධ රථවලට හැකිවුණා. එනම්, යුනිකොබ් හෙවත් බෝම්බ ප්‍රතිරේධි හා ප්‍රහාර ආරක්‍ෂිත සන්නද්ධ රථයයි.

    යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකායේ ද මඟ පෙන්වීම යටතේ නිර්මාණය කෙරෙන යුනිකොබ් සන්නද්ධ රථයේ මූලික ආකෘතිය මේ වනවිට සකස් කර අවසන්. මෙහි නිෂ්පාදන ආරම්භ කෙරුණේ, ඉකුත් වසරේ ජුනි මාසයේ දී. Command Vehicle හෙවත් අණදී‍මේ සන්නද්ධ රථයක් ලෙස මෙය නිෂ්පාදනය කර ඇත්තේ, නගරබද සටන් සඳහා මෙන්ම ආරක්‍ෂිතව භට පිරිසක් යම් තැනකට ප්‍රවාහනය කිරීමට යොදාගත හැකි ලෙසයි. මෙම සන්නද්ධ රථයට අංශක 360ක කැමරා පද්ධතියක් හා ගුවන් විදුලි සන්නිවේදන පද්ධතියක් ඇතුළත් කිරීමට ද නියමිතයි. මිලිමීටර් 12.7 වර්ගයේ බලගතු ‍ස්වයංක්‍රීය අවියකින් ද රථය බලගන්වා තිබෙනවා. රථය වෙඩි නොවඳින තහඩු සහ වීදුරුවලින් සමන්විතයි.

    තවත් ආකර්ශනීය පෙනුමක් සහිතව නිර්මාණය කෙරුණු සංග්‍රාමික රථයක් ලෙස "යුනි ඇවලොන්" අණදීමේ රථ හඳුන්වාදිය හැකියි. අශ්වබල 280ක එන්ජිමක් සහිත මෙය අනෙකුත් සන්නද්ධ රථවලට වඩා උසින් යුතු වන අතර එය වාසි සහගතවීම ද විශේෂත්වයක්. රථයේ පිටත පහළ කොටස අංශක 45ක ආනතියකින් නිමකර ඇත්තේ, පීඩන බෝම්බවලින් විය හැකි හානිය අවම කරගැනීම සඳහායි. එවැනි බෝම්බවල පීඩනය රථයේ ඇතුලත සිටින හමුදා සෙබලුන්ට එල්ලවීම වළක්වා ගැනීම සඳහා අසුන් සවිකර ඇත්තේ, රථයේ පැති බඳ කොටසේ, එය කම්පනය අවශෝෂනය කරගත හැකි සුවිශේෂී අසුනක්. RPG බෝම්බ ප්‍රහාර වළක්වාලන දැලකින් සහ වෙඩි නොවදින වීදුරු හා තහඩු යොදා මෙහි බඳ නිමවා තිබෙනවා.

    අවට සිදුවන සියලු දේ පටිගත වන කැමරා පද්ධතියක් හා එම දසුන් හමුදා මූලස්ථාන ක්‍රියාන්විත ‍මැදිරියට සම්ප්‍රේෂණය කළ හැකි තාක්‍ෂණනේ ද රථය බලගන්වා තිබෙනවා. වේග අටක ගියර් පද්ධතියකින් මෙන්ම ලිස්සා නොයන තිරිංග පද්ධතියකින් යුතු වීමද මෙහි විශේෂත්වයක්. භූමියේ ධාවනස්වභාවය අනුව රථයේ ටයර්වල වායු පීඩනය රියදුරුට වෙනස් කරගත හැකියි.

    ටයර් පුපුරා ගිය ද ආරක්‍ෂිත දුරක් ධාවනය කළ හැකිවීමත් ධාවනය අතරතුර ටයර්වලට වායු පීඩනය වැඩි කළ හැකිවීමත් මෙහි විශේෂත්වයක්. පූර්ණ වායු සමීකරණ පද්ධතියක් සහිත මේ අණදීමේ රථයේ ආකෘතිය හා සියලු අංගෝපාංග සැලසුම් කරන ලද්දේ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරීන් විසින්.

    Last modified on අඟහරුවාදා, 22 පෙබරවාරි 2022 20:04

    Latest News