කරන්නාගොඩගේ පෙත්සමෙන් විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන අස්වෙයි

පෙබ 28, 2019

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සමේ විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ඉල්ලා අස්වේ.

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් රහස් පොලිසියට නිකුත් කරන ලෙස මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි. මෙම පෙත්සම අද අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබිණ.

    පෞද්ගලික හේතුවක් මත මෙම නඩුවට සහභාගි වීමට අකමැති බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ අවසන් බැවින් ඔහුට එරෙහිව චෝදනා ගොනු කිරීමට සූදානම් යැයි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දන්වා සිටියේය.

    චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති වුවද අත්අඩංගුට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කිරීම අවශ්‍ය බව පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේය.

    පෙත්සම්කරුව අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් කිසියම් ප්‍රතිඥාවක් ලබා දිය හැකිද යන්න සම්බන්ධයෙන් අගවිනිසුරු නලින් පෙරේරා මහතා අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතාගෙන් විමසා සිටියේය.

    එවැනි ප්‍රතිඥාවක් ලබාදීම අපහසු බව ඊට ප්‍රතිචාර දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

    ඒ අනුව පෙත්සම සලකා බැලීම ලබන 7 වනදාට කල් තැබුණා.

    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා, රහස් පොලිසියේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත. ඉකුත් රජය සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් පිරිසක් අතුරුදන් වීමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකුට තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වසන්ත කරන්නාගොඩ පවසයි.

    හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා පොලිසියට දී ඇති කට උත්තරයක් පදනම්ව මෙම පරීක්ෂණය පවත්වන බව ඔහු කියා සිටි. මීට අදාළව තමන් අත් අඩංගුවට ගැනීමේ අවදානමක් මතුව තිබෙන බව පෙත්සම්කාර කරණ්නාගොඩ මතා පෙන්වා දේ. පරීක්ෂණවල කිසිදු සාධාරණ බවක් හෝ පදනමක් නොමැති බැවින් අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 පෙබරවාරි 2019 13:46

    Latest News