මෙරට ප්ලාස්ටික් කළමනාකරණයට ජපානයේ තාක්ෂණික සහය

ජන 25, 2022

    ශ්‍රී ලංකාවේ පරිසර සංරක්ෂණයට හා පොලිතීන් හා ප්ලාස්ටික් කළමනාකරණය සඳහා ජපානයේ තාක්ෂණික සහාය හා අත්දැකීම් ලබා දීමට සූදානම් යැයි මෙරට ජපාන තානාපති Hideaki Mizukoshi මහතා පවසයි.

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Hideaki Mizukoshi මහතා ඊයේ (24) පස්වරුවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා හමුවිය. නව තානාපතිවරයා ශ්‍රී ලංකාවේ තම නිල රාජකාරි කටයුතු ආරම්භ කිරීමෙන් පසුව පරිසර සංරක්ෂණයට අදාලව සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා හා ලේකම්වරයා හමුවු පළමු අවස්ථාව මෙයයි. 

    මෙහිදී ශ්‍රී ලංකාවේ පාරිසරික සංරක්ෂණය, වායු ගෝලයට කාබන් මුදා හැරීම අවම කිරීම , ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීම මෙන්ම සාගරයට පොලිතීන් හා ප්ලාස්ටික් එකතු වීම අවම කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය විසින් ගෙන යන වැඩ පිළිවෙල සහ සුරකිමු ගංගා වැඩ සටහන යටතේ පොලිතීන් හා ප්ලාස්ටික්  සාගරයට එක්වීම වැළැක්වීම සඳහා සැලසුම් කර ඇති වැඩ කටයුතු සම්බන්ධව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කරුණු පැහැදිළි කළේය.

    ජපානය විසින් එරට පරිසර සංරක්ෂණය හා පොලිතීන් හා ප්ලාස්ටික් අවම කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙළ ද තානාපතිවරයා විසින් පැහැදිළි කළේය. මේ වනවිට ජපානය තුළ පොලිතීන් හා ප්ලාස්ටික්  ප්‍රතිචක්‍රියකරණය සඳහා ක්‍රියාත්මක සාර්ථක වැඩ සටහන් මෙන්ම ඒ සඳහා යොදා ගන්නා නව තාක්ෂණය සම්බන්ධව ද මෙහිදී කානාපතිවරයා අදහස් දැක්වීය.  

    ඒ අනුව ශ්‍රී ලංකාවේ පොලිතීන් හා  ප්ලාස්ටික් භාවිතය අවම කිරීම මෙන්ම ඒවා ප්‍රතිචක්‍රියකරණය සඳහා ජපාන රජයේ තාක්ෂණික සහයෝගය මෙන්ම අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාවන් ලබා දීමට ද පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Hideaki Mizukoshi මහතා මෙහිදී අමාත්‍යවරයාට පැවසීය.

    එමෙන්ම මේ සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ජපානයට සහභාගි කරවීමටත්, ඔවුන්ට ඒ සඳහා නව තාක්ෂණික දැනුම හා අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාව සැලසීමට හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ නව තානාපතිවරයා වශයෙන් පත් වූ Hideaki Mizukoshi මහතාට තම සුබපැතුම් පළ කරන බව කී අමාත්‍යවරයා මින් පෙර ශ්‍රී ලංකාවේ තානාපතිවරුන් වශයෙන් කටයුතු කළ ජපාන රජයේ නියෝජිතයින් සියලු දෙනාම ශ්‍රී ලාංකික රජය මෙන්ම ජනතාව සමග ඉතා සුහදශීලි මිත්‍ර සම්බන්ධතා පැවැත් වු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

    එමනිසා නව තානාපතිවරයාටත් ඒ අයුරින්ම ශ්‍රී ලාංකික ජනතාව සමග සුහදශීලි සම්බන්ධතා පවත්වාගැනීමට අවශ්‍ය සහයෝගය ශ්‍රී ලංකා රජය මගින් ලබා දෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    Latest News